02

E   |     |  

රාජකාරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්

පාර්ලිමේන්තු සංකීර්ණයට රාජකාරි කටයුතු සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරීන් සඳහා ආරක්ෂක විධිවිධාන සහ පහසුකම් පැහැදිලි කරන මාර්ගෝපදේශයකි.

නියමිත වේලාවට පැමිණීම

කාරක සභා රැස්වීම්වලට හෝ සාකච්ඡාවලට සහභාගි වන නිලධාරීන් ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කරුණාකර කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. බොහෝ විට රැස්වීම් කිහිපයක් එකවර පැවැත්වෙන අතර, ආරක්ෂක පරීක්ෂාවන් හේතුවෙන් ප්‍රධාන දොරටුව අසල රැඳී සිටීමට සිදුවනු ඇත.
ගැටළු රහිතව පරිශ්‍රයට ප්‍රවේශ වීම සඳහා ඔබගේ නියමිත රැස්වීමට අවම වශයෙන් විනාඩි 30කට පෙර ප්‍රධාන පිවිසුමේ පාස් කවුන්ටරය වෙත පැමිණීමට කාරුණිකවන්න. මෙය අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට සහ ඔබේ නිල රාජකාරි සඳහා නියමිත වේලාවට පැමිණීම සහතික කිරීමට උපකාරී වේ.

පහසු ප්‍රවේශය සලසන අවසර පත්‍ර

රාජකාරි කටයුතු සඳහා නිරන්තරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් සඳහා වාර්ෂික/ දෛනික ප්‍රවේශ අවසර පත්‍ර නිකුත් කිරීම

අමාත්‍යංශ ලේකම්වරු සඳහා වාර්ෂික අවසර පත්‍රයක් නිකුත් කිරීම

අමාත්‍යංශ ලේකම්වරු සඳහා වාර්ෂික අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ. පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී රජයේ නිලධාරින් සඳහා වෙන් වුණු විශේෂ මැදිරියට ඇතුලු වීමට, පාර්ලිමේන්තු කාරක සභා සඳහා සහභාගීවීමට, සහ වෙනත් රාජකාරි හේතු සඳහා මෙම අවසර පත්‍රවලින් ප්‍රවේශය හිමි වේ. පහත පහසුකම් සහිතව සෑම අමාත්‍යංශ ලේකම්වරයෙකුටම වාර්ෂික අවසර පත්‍රයක් හිමි වේ.

  • වාහනය සඳහා ප්‍රවේශය
  • රාජ්‍ය නිලධාරීන් සඳහා වන විශේෂ මැදිරිය වෙත ප්‍රවේශය
  • කාරක සභා කාමර වෙත ප්‍රවේශය
  • මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සඳහා වන භෝජනාගාරය

මෙම අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ අමාත්‍යංශ ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත්‍රයක් වේත්‍රධාරී වෙත බාර දිය යුතුය.

දෛනිකව නිකුත් කරනු ලබන අවසර පත්‍ර ලබාගැනීම

ඉහත ඡේදයේ දක්වා ඇති පරිදි අවසර පත්‍ර ලබාගන්නා නිළධාරීන්ට අමතරව, පහත සඳහන් කාරණා සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් අදාළ අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශය සහිත ලිපියක් අදාළ පාර්ලිමේන්තු කාර්යාලය හරහා වේත්‍රධාරී වෙත ලබා දිය යුතු ය:

  • රාජ්‍ය නිලධාරීන් සඳහා වන විශේෂ මැදිරියට ප්‍රවේශ වීම සඳහා
  • පාර්ලිමේන්තු ගැලරිය, අමාත්‍ය කාමර හෝ වෙනත් රාජකාරියට අදාළ ප්‍රදේශයකට ප්‍රවේශ වීම සඳහා
  • පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වලට හෝ වෙනත් රාජකාරි කටයුත්තකට පැමිණීම සඳහා

පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් සඳහා ලිපි ලේඛන යැවීම

කාරක සභා රැස්වීම් සඳහා, කාරක සභා ලේකම්ගේ හෝ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ගේ නිර්දේශයක් සමඟ වේත්‍රධාරී වෙත විස්තර ඉදිරිපත් කරන්න. මෙමඟින් සුමට ක්‍රියාකාරිත්වය සහතික කෙරේ.
ගැටළු මඟහරවා ගැනීම සඳහා කාරුණිකව දැනුවත් වන්න:

  • අදාළ කාර්යාලයට/අංශයට පහත විස්තර නිවැරදිව ඉදිරිපත් කරන්න:
    - කාරක සභාවේ නම
    - කාරක සභාව පැවැත්වෙන ස්ථානය සහ වේලාව
    - සහභාගිවන්නන්ගේ තනතුරු නාම , ජාතික හැඳුනුම්පත් අංක සහ වාහන අංක ඇතුළත් නම් ලැයිස්තුව
  • අදාළ කාර්යාලය අමතා විස්තර ලැබී ඇතිදැයි පරීක්ෂා කරන්න.
  • අවම වශයෙන් එක් වැඩ කරන දිනකට පෙර අදාළ සියලු විස්තර එවන්න.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළට රාජ්‍ය නිලධාරීන් රැඟෙන එන වාහන

  • රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් රැඟෙන පැමිණෙන රියදුරන් සහිත වාහන ආරක්‍ෂක අවශ්‍යතාවලට යටත්ව, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ධාවනය කරනු පිණිස අවසර ලබා දෙනු ලැබේ.
  • රාජ්‍ය නිලධාරීන් පැමිණෙන වාහනවලට ඇතුළු විය හැක්කේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුමෙන් පමණි.
  • ජයන්තිපුර ප්‍රධාන පිවිසුම් ආරක්ෂක පිරික්සුම් ඒකකයේදී, වාහනය ආරක්ෂක සෝදිසියකට ලක් කෙරෙනු ඇත. එහිදී රාජ්‍ය නිලධාරීන් වාහනයෙන් බැසීම අනවශ්‍යය.
  • වාහනයේ ඇති සියලුම අයිතම පරීක්ෂා කෙරෙනු ඇත. සුමට ආරක්ෂක ක්‍රියාවලියක් සහතික කරනු පිණිස මෙවලම්, ආවුද, උපකරණ, භාණ්ඩ , ගමන් මලු සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන දේ රැඟෙන ඒමෙන් වළකින්න. ඔබගේ සංචාරයට අදාළ ලියකියවිලි පමණක් රැගෙන එන්න.
  • ආරක්‍ෂක සෝදිසි කිරීමෙන් පසුව, පොලිස් නිලධාරීන් විසින් වාහනය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ මහජන පිවිසුම වෙත යොමු කෙරෙනු ඇත.
  • මහජන පිවිසුමේදී, රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරය වෙත යොමු කරනු ලැබේ. රියදුරන් සහිතව පැමිණියේ නම් එම වාහන ගාල් කිරීම පිණිස ජයන්තිපුර රථගාල හෝ වෙනත් නම් කරන ලද රථ ගාල් කිරීමේ ස්ථානයක් වෙත යොමු කෙරේ.
  • ආපසු යාමේ දී වාහනය නැවත කැඳවීමේ පහසුකම් සලසා ඇත.
  • රාජකාරී කටයුතු අවසානයේ දී, පාර්ලිමේන්තු සංකීර්ණයෙන් බැහැර යාම පිණිස ජයන්තිපුර ප්‍රධාන පිවිසුම හෝ නුග සෙවන පිවිසුම හෝ පින්නියර පිවිසුම හෝ උපයෝගී කරගත හැක.
  • කෙසේ වුවද , කිසියම් රජයේ නිලධාරියකු තමන් විසින් ම, වාහනය පදවාගෙන පැමිණියේ නම්, වාහනය ජයන්තිපුර රථගාලේ ගාල් කිරීමෙන් අනතුරුව ජයන්තිපුර ප්‍රධාන පිවිසුමේ පිහිටි අවසර පත් කවුන්ටරය වෙත පැමිණිය යුතු අතර එහිදී හඳුනාගැනීමේ අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට පැමිණීම පිණිස කෙටි ධාවන පාර්ලිමේන්තු බස් රථ සේවාව උපයෝගී කරගත හැක.

වර්ණ තාවකාලික අවසර පත් නිකුත් කිරීම සහ ආරක්ෂක විධිවිධාන

රාජ්‍ය නිලධාරීන් තම ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගුවන් ගමන් අවසර පත්‍රය හෝ තම ආයතනය විසින් නිකුත් කරන ලද රාජකාරී නිල හැඳුනුම්පත හෝ ඉදිරිපත් කිරීම මඟින් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුය. ඔවුන් සතුව වේත්‍රධාරී විසින් නිකුත් කරන ලද ප්‍රවේශ අවසර පතක් වේ නම් , එය ද ඔවුන් රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීමේ කවුන්ටරයේ පිළිගැනීමේ නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.
පිළිගැනීමේ නිලධාරී විසින් අදාළ තොරතුරු ලේඛනගත කිරීම , අනන්‍යතා ලේඛනය රඳවා තබා ගැනීම , සහ වර්ණ තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කිරීම සිදු කරනු ලබයි. බැහැර යාමේදී , අනන්‍යතා ලේඛනය නැවත ලබා දීමෙන් රාජ්‍ය නිලධාරීන්ට තම හැඳුනුම්පත ලබා ගත හැක.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේදී සියලුම රාජ්‍ය නිලධාරීන් ශාරීරික ආරක්ෂක සෝදිසියකට ලක් කෙරේ. ඔවුන් විසින් රැඟෙන එනු ලබන ලිපි ලේඛන හා ගමන්මළු ද සෝදිසියට ලක් කරනු ලැබේ. ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට විද්‍යුත් උපකරණ රැඟෙන ඒම

අවසරය ලබා දී ඇත්නම්, ඔබට පවත්නා වර්ෂය සඳහා වලංගු වන වාර්ෂික අවසර පත්‍රයක් ලැබෙනු ඇත. ප්‍රමාදයන් වළක්වා ගනු පිණිස සෑම ගමන් වාරයකදීම ඔබ මෙම අවසර පත්‍රය රැගෙන එන්න.
අත්‍යවශ්‍ය නම්, ලැප්ටොප්, ටැබ්ලට් සහ අයිපෑඩ් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට රැඟෙන යා හැකිය. මෙම පහසුකම ඉල්ලා සිටීම සඳහා සම්පුර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කරන්න. රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය තුළ ජංගම දුරකථන නිහඬ කර තබා ගත යුතුය.
කාරක සභා රැස්වීම් හෝ වෙනත් රාජකාරි අවශ්‍යතා සඳහා, ලැප්ටොප්, ටැබ්ලට් සහ අයිපෑඩ් පූර්ව අවසරය මත රැගෙන යාමට අවසර දෙනු ලැබේ. අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ පෝරමය ඉදිරිපත් කරන්න.
සියලුම අවසරපත් නිකුත් කරනු ලබනුයේ වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී හෝ සහකාර වේත්‍රධාරී විසිනි.

නිල ප්‍රදේශ වෙත පිවිසීම

පාර්ලිමේන්තු ගැලරියට හෝ අමාත්‍ය කාමරයට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට නිල පදනමින් පිවිසීමට, හෝ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්, වෙනත් කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීමට, හෝ වෙනත් ඕනෑම නිල කටයුත්තක් සඳහා, ඉහත සඳහන් පිවිසුම් බලපත්‍ර පිළිබඳ තොරතුරු නිකුත් කිරීමට සහ පහත සඳහන් අය වෙත උපදෙස් ලබා දීමට අවශ්‍ය විධිවිධාන වේත්‍රධාරිවරයා/නියෝජ්‍ය වේත්‍රධාරිවරයා විසින් සිදු කරනු ලැබේ;

  • පාර්ලිමේන්තු පොලීසිය
  • පිළිගැනීමේ කවුන්ටර
  • පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්

රාජ්‍ය නිලධාරී මැදිරිය හෝ නිල ගැලරිය භාවිතය

රාජ්‍ය නිලධාරී මැදිරියට හෝ නිල ගැලරියට පිවිසෙන සෑම නිලධාරියෙකු විසින්ම අදාළ ස්ථානය සඳහා වේත්‍රධාරිවරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් රැගෙන යා යුතුය.
රාජ්‍ය නිලධාරී මැදිරිය හෝ නිල ගැලරිය වෙත පිවිසීම සඳහා වන ඕනෑම ඉල්ලීමක් අදාළ අමාත්‍යාංශ ලේකම් හෝ අතිරේක ලේකම් හරහා වේත්‍රධාරිවරයා වෙත යොමු කළ යුතුය.
රාජ්‍ය නිලධාරී කුටියේ ඇති ආසන සීමිත බැවින්, නිල අවශ්‍යතාව මත පදනම්ව ප්‍රමුඛතා ලැයිස්තුවක් ඔබගේ ඉල්ලීමට ඇතුළත් කිරීමට වග බලා ගත යුතුය.
රාජ්‍ය නිලධාරී මැදිරිය භාවිත කිරීමේදී සුදුසු ඇඳුමින් සැරසී නීති රීති අනුගමනය කළ යුතුය. මෙම නීති රීති එක්-දින බලපත්‍රයේද සඳහන් කර ඇති අතර මැදිරිය තුළද ප්‍රදර්ශනය කර ඇත.
රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව සඳහා මැදිරිය තුළ ෆැක්ස් පහසුකම් සහ කුටියෙන් පිටත ප්‍රවේශ ශාලාවේ දුරකථන පහසුකම් සලසා ඇත. නිලධාරීන් ප්‍රවේශ ශාලාවේ රැඳී සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බාධා වන ආකාරයෙන් කටයුතු නොකිරීම අත්‍යවශ්‍ය වේ. සභා ගර්භය දෙපස ඇති ප්‍රවේශ ශාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා පමණක් වෙන්කර ඇති බැවින් එම ස්ථාන භාවිතයෙන් වැළකී සිටීමද අත්‍යවශ්‍ය වේ.
ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම හෝ හඬ පටිගත කිරීම සඳහා කිසිදු ඉලෙක්ට්‍රෝනික උපකරණයක් භාවිත කිරීම තරයේ තහනම් බව කරුණාවෙන් සලකන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks