02

E   |     |  

අමුත්තන් සඳහා පොදු නිර්ණායක සහ උපදෙස්

ආරක්ෂක තොරතුරු

  • පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිටින සියළු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔබගේ සංචාරය අතරතුර ආරක්ෂක පියවර කිිහිපයක් අනුගමනය කළ යුතු ය.
  • ඔබ සංචාරය කරන දිනය සඳහා වලංගු වන පරිදි වේත්‍රධාරී විසින් නිකුත් කරන අවසර පත්‍රයක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ඔබ රැඳී සිටින කාලය තුළ ඔබ වෙත තබාගත යුතු ය. ඔබ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් බැහැර වන තෙක් ම මෙම අවසර පත්‍රය ඔබ වෙත තබාගත යුතු ය.
  • මුල් අවසර පත්‍රය ජයන්තිපුර පාර්සල් කවුන්ටරය වෙතින් ලබා ගත යුතු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත පිවිසීම සඳහා වන අවසර පත්‍රය මහජනතාව සහ රජයේ නිලධාරීන් සඳහා ඇති පිළිගැනීමේ කවුන්ටරයෙන් ලබා දෙනු ලැබේ.
  • අමුත්තන් (ගැලරියට පිවිසෙන අමුත්තන් හැර) පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ රැඳී සිටින කාලය තුළ සෑම අවස්ථාවකම අදාළ කවුන්ටරය වෙතින් නිකුත් කරන ලද අනන්‍යතා පත්‍රය පැළඳ සිටිය යුතු ය.
  • පූර්ව දැනුම් දීමකින් තොරව අවසර පත්‍ර අවලංගු කළ හැකි ය. එවන් අවස්ථාවල අදාළ පාර්ශ්වයන්ට හැකි ඉක්මනින් දැනුම් දීමට කටයතු කරනු ඇත.
  • ආරක්ෂක හේතූන් මත පහත සඳහන් ද්‍රව්‍ය ගැලරිය වෙත ගෙන යාමට ඉඩ දෙනු නොලැබේ:
    - පාර්සල්, අත් බෑග්, බ්‍රීෆ් කේස්, ගමන් මළු හෝ කිසිදු ආකාරයක බෑග් හෝ පසුම්බි
    - පොත්, ලේඛන, පෑන්, පැන්සල්, හෝ කිසිදු ආකාරයක ලිපි ද්‍රව්‍ය
    - වැහි කබා, කැප් තොප්පි, කුඩ, කැමරා
    - විදුලි හෝ විද්‍යුත් උපකරණ හෝ උපාංග, (ජංගම දුරකථන සහ සුහුරු අත්ඔරලෝසු ඇතුළුව)
    - සිගරට්, දුම්කොළ, බුලත්, දුම් පයිප්ප, කෑම වර්ග ආදිය
    - මහජන ගැලරියට ගෙන යාමට අවසර දිය නොහැකි යැයි සැලකෙන ඕනෑම දෙයක්
  • අමුත්තන් එවන් ද්‍රව්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ගෙන ඒමෙන් වැළකිය යුතු ය.
  • අමුත්තන් පාර්ලිමේන්තුව විසින් ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුතු කර තිබෙන නීති වලට අනුගත විය යුතු ය. එසේ කිරීමට අපොහොසත් වීම පාර්ලිමේන්තුව තුළට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප වීමට හේතුවක් වේ.
  • පාර්ලිමේන්තු පරිිශ්‍රයට ඇතුල් වීමේ දී වාහන සහ වාහන ගාල් කිරීම සම්බන්ධයෙන් වන රීති අනුගමනය කළ යුතු ය.
  • සියළුම අමුත්තන් ජයන්තිපුුර පිවිසුම, මහජන පිවිසුම, රාජ්‍ය නිළධාරි පිවිසුම, කාර්ය මණ්ඩල පිවිසුම සහ ගැලරි පිවිසුම යන ස්ථානවලදී ශරීර පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇත.
  • මෙම ආරක්ෂක පරීක්ෂණ ස්ථානවලදී පොලිස් නිළධාරීන් විසින් සිදුකරන ශාරීරික පරීක්ෂාවන් සඳහා ඔබ ඉඩ ලබා දිය යුුතු ය. සැකසහිත සිදුවීමක දී ඉහත සඳහන් කළ ස්ථානවලට අමතර ස්ථානවලදීත් ඔබව පරීක්ෂාවන්ට ලක් විය හැකි ය.
  • ගැලරියට පිවිසෙන අමුත්තන් ට මහජන පිවිසුම් ද්වාරය තුලින් ඇතුළු වී බටහිර තරප්පු පෙළ ඔස්සේ මහජන ගැලරියට පිවිසිය හැකි ය. පොලිස් නිලධාරීන්, මහජන සම්බන්ධතා නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ඔබට මග පෙන්වන අතර ඔබ වෙනත් ප්‍රදේශ වලට පිවිසීම නොකළ යුුතු අතර එසේ යාම තහනම් කර තිබේ.
  • පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් ජයන්තිපුර පිවිසුම පමණක් භාවිතා කළ යුතු ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් කැටුව එන අමුත්තන් ද මෙම පිවිසුම භාවිතා කළ යුතු ය.
  • අනන්‍යතාව තහවුරු කර ශරීර පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව අවසර ලත් අමුත්තන් පාර්ලිමේන්තුවේ කෙටි දුර ධාවන බස් රථ සේවාව මගින් අවසරලත් වාහන වලින් පමණක් මහජන පිවිසුම වෙත පැමිණිය යුතු ය. අමුත්තන්ට වෙනත් පිවිසුම් භාවිත කිරීමට අවසර නැත.
  • මගපෙන්වීම සහිත සංචාරයකට යෙදෙන අය මහජන සම්බන්ධතා නිලධාරියකු කැටුව යා යුතු ය. මහජන සම්බන්ධතා නිලධාරියෙක් නොමැතිව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ රැඳී සිටීම කිසිසේත් නොකළ යුතු ය.

පරීක්ෂාව සහ සෝදිසිය

  • පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර ඔබ ට අයත් දෑ දැඩි ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරනු ඇත.
  • ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක කැමරා පැය 24 පුරාම සෑම දිනකම ක්‍රියාත්මකව තිබේ.

ගැලරිය නැරඹීම

මහජන ගැලරිය නැරඹීම සඳහා ඔබ වේත්‍රධාරිවරයාගෙන් අවසර ලබාගත යුතු ය. අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා “ඔබගේ සංචාරය සැළසුම් කරන්න“ වෙත අවධානය යොමු කරන්න. ගැලරියට පිවිසෙන අමුත්තන් ගැලරියට පිවිසීම සඳහා වන අවසර පත්‍රයක් ලබා ගත යුතු ය. මෙම අවසර පත්‍රය සහිතව පාර්ලිමේන්තුවේ ගැලරිය හැර වෙනත් කිසිදු ස්ථානයකට පිවිසීමට කිසිදු අවසරයක් නොමැත.

කළ යුතු දේ සහ නොකළ යුතු දේ

  • සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඔබ වගබලාගත යුතු අතර කොට කලිසම් සහ ස්කිනීස් වලින් සැරසී පැමිණෙන අයට ඇතුල් වීමට අවසර නැත. දිගු කලිසම්, කමිස සහ ටී ෂර්ට් මෙන්ම වැදගත් ස්ථානයකට ගැලපෙන ඕනෑම ගෞරවාන්විත ඇඳුමකින් සැරසී පැමිණීමට ඔබට අවසර තිබේ. ඔබගේ සංස්කෘතික අනන්‍යතාව තුළ පිළිගනු ලබන සාම්ප්‍රදායික ඇඳුම් සඳහා ද අවසර තිබේ.
  • මහජන ගැලරිය තුළ මෙන්ම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල ද සම්පූර්ණ නිශ්ශබ්දතාව පවත්වාගැනීම අත‍්‍යාවශ්‍ය වේ. ඔබගේ නිශ්ශබ්දතාව පාර්ලිමේන්තුව තුළ සිදුවන කටයුතු මනා ලෙස ඉටුකර ගැනීමට පහසුවක් වේ.
  • ඔබට බටහිර තරප්පු පෙළ ඔස්සේ මහජන ගැලරියට පිවිසීමට ඉඩ සලසනු ලැබේ. පොලිස් නිලධාරීන් ඔබට මග පෙන්වනු ඇති අතර ඔබ වෙනත් ප්‍රදේශ වලට පිවිසීම නොකළ යුුතු අතර එසේ යාම තහනම් කර තිබේ.
  • මහජන ගැලරිය සහ ගොඩනැගිල්ලේ වෙනත් ස්ථාන වල සවිකර තිබෙන ශ්‍රව්‍ය උපකරණ ස්පර්ශ කිරීම හෝ ඒවාට හානි කිරීම නොකළ යුතු ය.
  • අසුන් ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරයා, පොලිස් නිලධාරියා හෝ මහජන සම්බන්ධතා නිලධාරියා ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. සභාගර්භය තුළ බාධාවක් හෝ කලබලයක් ඇතිවන අවස්ථාවක මහජන ගැලරියෙන් පුද්ගලයන් ඉවත් කිරීමට ඔවුන්ට බලය තිබෙන නිසා ඔවුන්ගේ උපදෙස් අනුගමනය කිරීමට කාරුණික වන්න.
  • ගැලරිය තුළ පහත සඳහන් ක්‍රියාකාරකම් දැඩි සේ තහනම් කර තිබේ: ගැලරියට කිසිවක් ගෙන ඒම, කථා කිරීම, අත්පුඩි ගැසීම, ඔල්වරසන් දීම, ශබ්ද කිරීම, විහිළු කිරීම, තැන තැන ඇවිදීම හෝ සිටගෙන සිටීම, හාස්‍යයට ලක් කිරීම හෝ සංඥා දැක්වීමට මුහුණේ ඉරියව් භාවිතා කිරීම, සභා ගර්භය තුළට එබී බැලිම, ඇඟිලි හෝ අත් දිගු කිරීම, සභා ගර්භය තුළට පා දිගු කිරීම, පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට අතවැනීම හෝ සංඥා කිරීම, නිදි කිරා වැටීම, සටහන් ගැනීම, පොත් හෝ පුවත් පත් කියවීම, ආරක්ෂිත වැටට උඩින් පැනීම, පුවත් පත් ගැලරියේ ආසන වල අසුන් ගැනීම සහ පාර්ලිමේන්තු රැස්වීමට බාධා කරන කවර ක්‍රියාවක් හෝ කිරීම.
  • දියවන්නා ඔය ඉවුරේ රංචු වශයෙන් ගැවසීම සිදු නොකරන්න. ඔබගේ කණ්ඩායමේ සිටින දරුවන් මෙන්ම අනෙකුත් තැනැත්තන් ඔයෙහි ඉවුරට සමීපව රැඳී නොසිටින බවට වග බලා ගන්න.

සංචාරය තුළ දී ඔබගේ හැසිරීම

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ රැඳී සිටින කාලය තුළ දී , ඔබ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත, රෙගුලාසි, ස්ථාවර නියෝග සහ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිවලට යටත් වේ. බලධාරීන් විසින් ලබා දෙන සියලුම උපදෙස් සහ මාර්ගෝපදේශ ඔබ විසින් පිළිපදිනු ලැබිය යුතුය. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායක ක්‍රියාදාමයට ඔබගේ ක්‍රියාවන් බාධාවක් නොවිය යුතුය.
එබැවින්, ඔබගේ සංචාරය අතරතුර දී:

  • ඔබ නිහඬව සිටිය යුතුය.
  • ඔබට සංචාරය කළ හැක්කේ ඔබට අවසර දී ඇති ස්ථානවලට පමණි.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට ඔබ බාධා නොකළ යුතුය.
  • කිසිදු තහනම් ක්‍රියාවක ඔබ නිරත නොවිය යුතුය.
  • පාර්ලිමේන්තුවට උචිත ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටීමට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.
  • කෞතුක වස්තු, ගෘහ භාණ්ඩ හෝ උපකරණ ස්පර්ශ කිරීම හෝ ඒවාට හානි කිරීම සිදු නොකළ යුතුය.

ඉහත උපදෙස් පිළි නොපැදීම හේතුවෙන් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත මගින් ලබා දී ඇති බලතල ප්‍රකාරව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගනු ලැබීමකට ඔබ යටත් කරනු ලැබිය හැක.

දරුවන් සමඟ සංචාරය කිරීම

පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලය තුළ දී මහජන ගැලරිය තුළට ළදරුවන් රැගෙන යාමට අවසර දෙනු නොලැබේ. මීට අමතරව, ළදරුවන්ට සහ වයස අවුරුදු 10 ට අඩු ළමයින්ට ගැලරියේ පළමු පේළියේ අසුන් ගැනිමට අවසර දෙනු නොලැබේ. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින වල දී වයස අවුරුදු 10 ට අඩු ළමයින් හට ගැලරිවලට ඇතුල් වීමට අවසර දෙනු නොලැබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks