01

E   |     |  

 දිනය: 2017-09-21   පිළිතුර ලබා දී ඇත 

1700/2017: පුන්නකුඩා ග්‍රාමයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම: අනවසර ඉදිකිරීම්

1700/’17

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එරාවූර්, පුන්නකුඩා ග්‍රාමයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 370 ක් පමණ වූ, ඉඩම බොහෝ කලක සිට පදිංචිකරුවෙකු හෝ නොමැති,  කිසිදු සංවර්ධන කාර්යයකට හෝ ඉදිකිරීමක් සඳහා යොදා නොගත් ඉඩමක් ලෙස පවතින්නේද;

(ii) මෙම ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයා‍ගේ අනුදැනුම මත කර්මාන්ත කලාපයක් පිහිටුවීම සඳහා හඳුනාගෙන තිබේද;

(iii) ඒ අනුව, එම ඉඩම කර්මාන්ත කලාපයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නීත්‍යානුකූලව පවරා දීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් කර ති‍බේද;

(iv) එම ඉඩමේ ආයෝජන කලාපයක් ඉදිකිරීමට අවශ්‍ය මූලික අධ්‍යයනය සිදු කිරීම සඳහා රුපියල් මිලියන 38ක වියදමකින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් ලංකා හයිඩ්‍රොලික් ආයතනයට පවරා තිබේද;

(v) මේ වනවිට එම භූමියේ තිබූ තල්ගස් කපා දමා, කිසියම් පිරිසක් අනවසරයෙන් වැටවල් ඉදිකර, ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භකර ති‍බේද;

(vi) අදාළ බලධාරින් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකිරීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-21

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු, ප්‍රමාණයෙන් අක්කර 375 රූඩ් 3 පර්චස් 5.16කින් යුතු මෙම ඉඩම ජනවාර්ගික යුද්ධය පැවති සමයේදී කිසිදු  කාර්යයක් සඳහා යොදා ගත නොහැකිවීම හේතුවෙන් පදිංචිකරුවෙකු නොමැතිව සංවර්ධන කටයුත්තකින් හෝ ඉදිකිරීමකින් තොරව පැවතී ඇත.

                         නමුත් 2014.07.14 දිනැතිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම ඉඩමෙන් අක්කර 345 රූඩ් 0 පර්චස් 23.4 ක ප්‍රමාණයක්  කර්මාන්තපුරයක් ආරම්භ කිරීම සඳහා ලබා දීමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

(ii) මෙම ඉඩම කර්මාන්තපුරයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමක් සිදුවී නොමැත.

ගරු මන්ත්‍රීතුමනි, මේ ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමක් නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශයක් ඒකට අවශ්‍ය වන්නේ නැහැ.

(iii) ඔව්.

(iv) නොදනී.

(v) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මෙම ඉඩමේ ඇතැම් කොටස් ඇතැම් පුද්ගලයන් විසින් නිත්‍යනුකූල නොවන ඔප්පු සකසා විකිණීම සිදුකොට ඇති අතර, 2017.01.16 දින සිට බොහෝ ඉඩම් කොටස් අනවසර අල්ලා ගැනීම් සඳහා බඳුන් වී ඇත. මෙම අනවසරකරුවන්ගේ ක්‍රියාකාරිත්වය  පාලනය කළ නොහැකි තත්ත්වයේ පැවති අතර, ඔවුන් විසින් තල් ගස් කපා දමමින් ස්ථිර හා තාවකාලික නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුකර ඇත.

(vi) මෙම අනවසරකරුවන් ඉවත්කිරීම සඳහා එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 235/2017 දරන නඩුව පවරා ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks