01

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

4654/2015: ජාතික ඉතිරි කිරීමේ බැංකුව : කුලී පදනම මත සිටින කාර්යාල කාර්ය සහායකවරුන්

4654/’13

 

ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කුලී පදනම මත සේවයේ යොදවා ඇති කාර්යාල කාර්ය සහායකවරුන් ස්ථිර සේවයට අනුයුක්ත කිරීම පිණිස සේවක මණ්ඩල කළමනාකරුගේ අංක 7/2012 හා 2012.02.14 දිනැති ලිපිය මගින් විස්තර හා අයදුම්පත් කැඳවූ බවත්;

(ii) ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් ඊට අදාළව විභාගයක් 2012.03.18 දින  පැවැත්වූ බවත්; 

(iii) අවශ්‍ය සුදුසුකම් සපුරා සිටි 218 දෙනෙකු එම විභාගයට පෙනී සිටි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත විභාගයෙන් සමත්වූවන් ස්ථිර සේවයට අනුයුක්ත කිරීම පිණිස ඔවුන් සේවය කළ ශාඛා හා අංශ ප්‍රධානීන් වෙතින් ඔවුන්ගේ ක්‍රියාකාරීත්ව ඇගැයීම් වාර්තා කැඳවූයේද;

(ii) එසේ නම්, එම වාර්තා කැඳවූ දින වකවානු කවරේද;

(iii) එම වාර්තා මත මේ වන විට ගෙන ඇති පියවර කවරේද;

(iv) එම සේවකයින් ස්ථිර සේවයට අනුයුක්ත කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුලී පදනම මත බාහිර මිනිස්බල සැපයුම් ආයතන මඟින් බැංකුවට අනුයුක්තව සේවය කළ කාර්යාල කාර්ය සහායක ඇතුළුව සියලුම‍ සේවා කාණ්ඩ පිළිබඳ (ආරක්ෂක සේවාවන් හැර) විස්තර සේවක මණ්ඩල කළමනාකරුගේ අංක 07/2012 දරන 2012.02.14 දිනැති උපදෙස් ලිපිය මඟින් ආකෘති පත්‍රයකට අනුව කැඳවා ඇත.

(ii) කාර්යාල කාර්ය සහායක තනතුරෙහි 2012.02.28 දිනට වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද හා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඇති සේවකයින් කොන්ත්‍රාත් පදනම මත කාර්යාල කාර්ය සහායක තනතුරට බඳවා ගැනීම සලකා බැලීම පිණිස ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මඟින් 2012.03.18 දින ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදී.

(iii) අවශ්‍ය අවම සුදුසුකම් සපුරා තිබූ 218දෙනෙකු ඉහත කී විභාගයට පෙනී සිට ඇත.

(ආ) (i) ඉහත සඳහන් සේවකයින් අනුයුක්තව සිටි අංශයන්හි අංශ ප්‍රධානීන්ගෙන්ද, ශාඛාවල කළමනාකරුවන්ගෙන්ද ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඇගයීම් පිළිබඳ වාර්තා කැඳවන ලදී.

(ii) සේවක මණ්ඩල කළමනාකරුගේ 2012.05.04 දිනැති ලිපිය මඟින් ඉහත අංක (ආ)(i)හි සඳහන් වාර්තා 2012.05.25 දිනට ප්‍රථම සේවක මණ්ඩල කළමනාකරු වෙත ලැබීමට සලස්වන ලෙස අදාළ අංශ ප්‍රධානීන් / ශාඛා කළමනාකරුවන් වෙත දන්වා ඇත.

(iii) මේ සේවකයින් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කර නොමැත.

(iv) එවකට කටයුතු කළ සභාපතිතුමා 2012.05.21 දින ඉල්ලා අස් වීමෙන් පසු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පත් කරන ලද අතර, ඒ පිළිබඳව තව දුරටත් කටයුතු කර නොමැත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks