01

E   |     |  

 දිනය: 2025-10-10   පිළිතුර ලබා දී ඇත 

0205/2025: කෘෂිකාර්මික අංශය: 2015 සිට දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය

205/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය සහ එහි මූල්‍යමය වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය පහළ මට්ටමක පැවතීමට හේතු සාධක කවරේද;

(iii) ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-10

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

                          වගුව 1: ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂි කාර්මික අංශයේ දායකත්වය. (2015-2024)

 

වසර

දළ දේශීය නිෂ්පාදනයට කෘෂි කාර්මික අංශයේ දායකත්වය

 

ප්‍රතිශතය (%)

වත්මන් මිල ගණන් යටතේ මූල්‍යමය වටිනාකම (රු.මි.)

ස්ථාවර (2015) මිල ගණන් යටතේ මූල්‍ය වටිනාකම (රු.මි.)

2015

7.8

950,452

950,452

2016

7.1

930,442

906,100

2017

6.9

1,069,075

889,557

2018

7.1

1,165,529

945,292

2019

6.9

1,154,540

949,582

2020

7.1

1,291,023

941,046

2021

7.3

1,548,117

950,548

2022

7.5

2,032,845

911,252

2023

7.9

2,227,561

925,822

2024

7.5

2,481,487

937,104

(ii) ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික අංශය දැනට දළ දේශීය නිෂ්පාදනයට සියයට 7.5ක් පමණ දායක වේ. මෙය පාකිස්තානය (23.5%) සහ ඉන්දියාව (16.4%)  වැනි කලාපීය රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩුය. එසේ වීමට බලපා ඇති හේතු වන්නේ,

                           1.     වැඩිවන ජනගහන ඝනත්වය හේතුකොට ගෙන රටේ වගා කළ හැකි ඉඩම් සීමිත වීම‍.

                           2.     සේවා සහ කර්මාන්ත අංශය කෘෂි කාර්මික අංශයට සාපේක්ෂව වඩා වේගයෙන් ව්‍යාප්ත වීම.‍

3. කෘෂි කාර්මික නොවන ක්‍රියාකාරකම්වල ශ්‍රම ඵලදායීතාව ඉහළ මට්ටමක පැවතීම.

4. කෘෂි කර්මාන්තයට ලබා දෙන ප්‍රමුඛතාවට වඩා වැඩි ‍ප්‍රමුඛතාවක්, රාජ්‍ය අනුග්‍රහයක් සහ දිරිගැන්වීමක් අපනයනය අරමුණු කරගත් කර්මාන්ත කෙරෙහි (ඇඟලුම් වැනි) පසුගිය කාලය තුළ ලබා දීම.

5. කෘෂි කාර්මික ක්ෂේත්‍රයට ලබා දී ඇති රාජ්‍ය අනුග්‍රහය සහ දිරිගැන්වීම එම ක්ෂේත්‍රයේ පවතින අවිධිමත්භාවය හේතුවෙන් තිරසර ලෙස උකහාගෙන නොමැති වීම.

ඉහත හේතු වත කර්මාන්ත හා සේවා අංශයේ වර්ධනය කෘෂි කාර්මික අංශයට වඩා ඉහළ අගයක් ගනී.

‍ (iii) "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තිය යටතේ රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් හා අනුගතව කටයුතු කිරීම වෙනුවෙන් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එළඹෙන 2025/26 මහ කන්නයේ සිට "පුනරුදයට අරුණලු" ජාතික ආහර භෝග ප්‍රවර්ධන වැඩසටහන යටතේ පහත යෝජිත විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

· රට තුළ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන යාය ජාතික වැඩසටහන

· රට තුළ බීජ සුරක්ෂිතතාව ඇතිකිරීම සඳහා බීජ නිෂ්පාදන ප්‍රවර්ධන ජාතික වැඩසටහන‍

· අතිරික්ත නිෂ්පාදනයක් සහිත ආහාර භෝග සඳහා අගය එකතු කිරීමේ සහ අපනයන ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන

· කෘෂි යාන්ත්‍රීකරණ ජාතික වැඩසටහන

· ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණ ජාතික වැඩසටහන

· ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සහ නව කෘෂි කාර්මික පද්ධති ප්‍රවර්ධන ජාතික වැඩසටහන‍

· බඩඉරිඟු, මුං, කව්පි, රටකජු, අර්තාපල්, ලොකු ලූනු , රතු ලූනු, උඳු, කුරක්කන්, මිරිස් සහ සෝයා බෝංචි ආදි මූලික අවධානය යොමු වී ඇති අතිරේක ආහාර භෝග වෙනුවෙන් ජාතික නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

· කෘෂි කාර්මික සංවර්ධන වැඩසටහන් හා ආහාර භෝග නිෂ්පාදන ප්‍රවර්ධන කාර්යයන්හිදී ස්වේච්ඡා ව්‍යාප්තිකාරකයින් ලෙස සේවය ලබා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් සුදුසු ප්‍රමුඛ ගොවීන් හඳුනා ගැනීම සහ සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks