පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1876/’17
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උඩප්පුව ප්‍රදේශයේ වෙරළ තීරය දැඩි ඛාදනයට ලක්වී තිබෙන බව දන්නේද;
(ii) එසේ නම්, එම ඛාදනය නිසා පීඩාවට ලක්වී සිටින ධීවර පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) එම වෙරළ තීරය මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-15
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) එම වෙරළ ඛාදනය නිසා පීඩාවට පත්වී ඇති ධීවර පවුල් සංඛ්‍යාව 300ක් පමණ වේ.
(iii) මෙම කරුණ සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙතින් නිරීක්ෂණ වාර්තා කැඳවා එම වාර්තාව මගින් පහත තොරතුරු මා වෙත යොමු කර ඇත. උඩප්පුව මෝයේ දකුණු පස ආරක්ෂාව සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් 1998 වර්ෂයේ වැලි කඩනයන් කිහිපයක් ඉදි කර ඇත. මෙම වැලි කඩනයන්ගෙන් දකුණු ප්‍රදේශය තුළ 2017 වර්ෂයේ පෙබරවාරි සහ මාර්තු මාසවල මුහුද රළු වීම සහ උදම් රළ හේතුවෙන් ඇති වූ වෙරළ ඛාදනය හේතුවෙන් වෙරළේ ඉදි කර තිබූ ධීවර වාඩි 06කට පමණ හානි සිදු වූ බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. තවද, වෙරළ ඛාදනය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රජා සහභාගීත්වය සහිතව මීටර් 150ක් පමණ ප්‍රමාණයක වෙරළ තීරය වැලි කොට්ට යොදා ආරක්ෂා කර ඇත.
එමගින් වෙරළ ඛාදනය යම් පමණකට පාලනය වී ඇති බවත්, අවදානම යම්තාක් දුරකට පහව ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන්ට අනුව අවදානමක් උද්ගත විය හැකි බැවින්, මෙම වෙරළ තීරය ආවරණය වන පරිදි මීටර් 15ක් දිගකින් යුතු වැලිකඩන 02ක් ඉදිකිරීම 2018 වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මට ඇතුළත් කර ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. තවද, මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකා ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් දන්වා ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks