01

E   |     |  

 දිනය: 2015-03-03   පිළිතුර ලබා දී ඇත 

5500/2015: ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයන්: වන්දි සහ නිවාස

5500/’14

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ එක් සේවකයෙකුට අවම වශයෙන්          රු 96,000/- ක හා උපරිම වශයෙන් රු. 265,000/- ක වන්දි මුදලක් ගෙවා  1990.03.31 දින සිට එම ආයතනය වසා දමන බව  එවකට පැවති රජයේ විෂය භාර අමාත්‍යවරයා විසින් 1990.03.23 දින පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළ බවත්;

(ii) එසේ ප්‍රකාශ කළත්, එම සේවකයින්ට ගෙවා ඇත්තේ රු. 50,000/- ක මුදලක් පමණක් බවත්;

(iii) එම තත්ත්වය යටතේ ඔවුන් ඉතා අසරණ වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවය කළ ඉහත සඳහන් සේවක පිරිසට ඉතිරි වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන දිනය කවදාද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එවකට ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය සතුව පැවති නිල නිවාසවල අයිතිය, එම අවස්ථාවේ එහි පදිංචිව සිටි සේවකයින්ට ලබා දෙන බවටත්, නිවාස නොමැති සෙසු සේවකයින්ට ඉඩම් ලබා දෙන බවටත් කළ ප්‍රකාශය අනුව, මේ වන විට සියලුම සේවකයින්ට නිවාස හෝ ඉඩම් ලබා දී අවසන් කර තිබේද;

(ii) එසේ නම්, එම නිවාස හෝ ඉඩම් සඳහා මේ වන විට හිමිකම් ඔප්පු ලබා දී අවසන් කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?      

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-03

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඔව්. 1990.03.23 දින ගරු ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කරන ලද කථාව ඇතුළත් හැන්සාඩ් වාර්තාවෙන් මෙය තහවුරු වී ඇත. ඇමුණුම*  බලන්න.

              (ii)      වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව විමසා බැලූ අතර, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය වසා දැමීමෙන් පසු සේවකයන්ට ලබා දී ඇති වන්දි මුදල් පිළිබඳව විස්තර ඇතුළත් ලිපිගොනු සොයා ගැනීම අපහසු බව දන්වා ඇත. මේ සම්බන්ධව ගත යුතු පියවර ගනිමින් සිටින බවත් එම අමාත්‍යාංශය දන්වා ඇත.

(iii) ඉහත (ii) පිළිතුර අදාළ වේ.

(ආ) වන්දි මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු කිසිවක් නොමැත.

(ඇ) (i) ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය ඈවර කිරීම හේතුකොටගෙන රැකියා අහිමි වූ, දස වසරකට නො අඩු සේවා කාලයක් තිබූ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් පදිංචිව සිටි නිවාස ලබා දීම සඳහා 2012.05.04වන දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඊට අදාළ තොරතුරු පහත පරිදි වේ.

1 සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 193කි.

2. මේ වන විට දීමනා පත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 107කි.

3. ඒ අනුව තවදුරටත් කටයුතු කිරීමට ඉතිරිව සිටින පුද්ගලයන් 86 දෙනාගෙන් 78 දෙනෙකු ඉදිරිපත් කර ඇති තොරතුරුවල විවිධ ගැටලු පවතී. ඒ සඳහා වරින් වර තොරතුරු ලැබෙන ආකාරයට ඉදිරි කටයුතු කරනු ලැබේ. රේඛා චිත්‍ර සටහන් නොලැබුණු පුද්ගලයන් 05 දෙනකු හා තක්සේරු මුදල් නොගෙවූ 03 දෙනෙකු සඳහා ඔප්පු ලබා දීමට ඇත.

මීට අමතරව, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ නිවාසවල පදිංචිව සිටි වෙනත් පුද්ගලයන් විසින් කරන ලද ඉල්ලීම් අනුව නැවත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම අනුමැතිය අනුව, පහත සඳහන් 1 සිට 4 දක්වා වූ කාණ්ඩයන්ට අයත් 347 දෙනෙකු සඳහා සුදුසුකම් ලබන පරිදි දීමනා පත්‍ර හෝ බදු පදනම මත බදු බලපත්‍ර යටතේ නිවාස ඉඩම් බැහැර කිරීමට කටයුතු කරනු ලැබේ.

1. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයන් ලෙස මහවැලි සංවර්ධන අධිකාරියට අන්තර්ග්‍රහණය කිරීමෙන් පසු විශ්‍රාම ගිය සේවකයන් - 95

2. පළමු හා දෙවන අමාත්‍ය මණ්ඩල සංදේශවලට අනුකූල නොවන, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ නිවාසවල පදිංචි පුද්ගලයන් - 122

3. ගංගා නිම්න සංවර්ධන සේවකයන් ලෙස සිටි නමුත් නිවාස වෙනත් අයට අන් සතු කර නිවාස භුක්තිය දරන බාහිර පුද්ගලයන් - 47

4. මුල් අමාත්‍ය මණ්ඩල සංදේශයේ බදු පදනම මත ඉඩම් ලබා දීමට තීරණය වූ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය ඈවර කරන විට විශ්‍රාම ලැබූ හෝ ඉල්ලා අස්වූ පුද්ගලයන්  - 83

(ii) ඉහත (ඇ) (i) පිළිතුර අදාළ වේ.

 

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks