01

E   |     |  

 දිනය: 2014-05-23   පිළිතුර ලබා දී ඇත 

4332/2014: අධ්‍යාපන විද්‍යාපීඨ: විස්තර

4332/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මෙරට ක්‍රියාත්මක වන අධ්‍යාපන විද්‍යාපීඨ සංඛ්‍යාව එක් එක් විෂයය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       2013 වර්ෂයේදී එක් එක් විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබූ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  අධ්‍යාපන විද්‍යාපීඨවල සේවය කරන පීඨාධිපතිවරුන්ගේ නම් හා සුදුසුකම් කවරේද;

  (ii)  විද්‍යාපීඨ පීඨාධිපති තනතුර දැරීම සඳහා තිබිය යුතු අවම සුදුසුකම් කවරේද;

  (iii)  එම විද්‍යාපීඨවල කථිකාචාර්යවරුන්ගේ හිඟයක් පවතින්නේද;

  (iv)  එසේ නම්, කථිකාචාර්ය හිඟය පවතින විද්‍යාපීඨ සහ විෂයයන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      මෙරට ක්‍රියාත්මක වන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සංඛ්‍යාව 18කි. එක් එක් විෂයයන් අනුව සියලු අධ්‍යාපන විද්‍යාපීඨ  වර්ග කරන්නේ නැත. එකම පීඨය තුළ විවිධ පාඨමාලා පැවැත් වේ. මේ වන විට එක් එක් විද්‍යාපීඨවල පැවැත්වෙන පාඨමාලා ඇමුණුම 01හි* සඳහන් පරිදි වේ.

 

              (ii)        2011, 2012 හා 2013 යන වසර තුනේදී බඳවාගත් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් 2013 වර්ෂයේදී අධ්‍යාපනය ලබා ඇත. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක අධ්‍යයන කාලය වසර තුනකි. එයින් එක් වසරක් සීමාවාසී පුහුණුව ලැබිය යුතුයි. ඒ අනුව 2013 වර්ෂය තුළ අධ්‍යාපනය ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 හි දැක්වේ.

(ආ) (i) ඒ ඒ විද්‍යාපීඨවල සේවය කරන පීඨාධිපතිවරුන්ගේ නම් හා සුදුසුකම් ඇමුණුම 03*හි දක්වා ඇත.

(ii) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක පීඨාධිපති තනතුර දැරීම සඳහා අවම සුදුසුකම වන්නේ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පළමුවන පන්තියේ නිලධාරියකු වීමයි.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස්වීම් අවසන්වරට ලබා දී ඇත්තේ 2005 වසරේදීය. ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන ක්‍රියාදාමයේ එක් සුවිශේෂී මෙහෙවරක් ලෙස 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1වන පන්තියට උසස්වීම් ලබා දී ඇති අතර එම නිලධාරින්ගෙන් එකොළොස් දෙනෙකු විශ්‍රාම ගොස් ඇත. ඉතිරි නිලධාරින් 11 දෙනා පීඨාධිපතිවරුන් ලෙස පත් කර ඇත. එහෙත් දැනට සිටින ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1වන පන්තියේ නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 6ක පීඨාධිපති තනතුරෙහි රාජකාරි ආවරණය කරනු ලබන්නේ එම සේවයේ 2-1 පන්තියේ හා 2-11 පන්තියේ නිලධාරින් විසින්ය. ඉදිරියේදී නැවතත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1 වන පන්තියට උසස්වීම් ලබා දී පීඨාධිපති තනතුරු සඳහා පත් කිරීමට නියමිතය.

(iii) හිඟයක් පැවතුනි. දැන් ඒ හිඟය පිරවීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.

(iv) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 18ක කථිකාචාර්ය තනතුරු සඳහා පහත සඳහන් විෂයයන්වල පුරප්පාඩු පවතී. පුරප්පාඩු වී ඇති කථිකාචාර්ය තනතුරු සඳහා බඳවා ගැනීමට ගැසට් නිවේදනයක් පළ කර අයදුම්පත් කැඳවා ඇති අතර, අයදුම්පත් 9000ක් පමණ ලැබී තිබිණ. එයින් අයදුම්කරුවන් 4000ක් සඳහා සම්මුඛ පරීක්ෂණ ද පවත්වා අවසන් කර, තෝරා ගන්නා ලද කථිකාචාර්යවරුන්ගේ අවසාන ලේඛන සකස් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී. මෙම වසරේ ජූලි 10 වන විට තෝරා ගැනීමට නියමිත කථිකාචාර්යවරු 272කගේ ලේඛනය නිර්දේශ කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යැවීමට නියමිතය. අනුමැතිය ලැබීමෙන් පසු කඩිනමින් මෙම පුරප්පාඩු සම්පූර්ණ කරනු ලැබේ.

 

පුරප්පාඩු පවතින විෂයයන් පහත සඳහන් කර ඇත.

01. වෘත්තීය විෂය

02. පළමු බස සිංහල

03. පළමු බස දෙමළ

04. ඉංග්‍රීසි භාෂාව

05. බුද්ධ ධර්මය

06. හින්දු ධර්මය

07. ඉස්ලාම් ධර්මය

08. ක්‍රිස්තියානි ධර්මය

09. දෙවන බස සිංහල

10. දෙවන බස දෙමළ

11. ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය

12. ජීව විද්‍යාව

13. රසායන විද්‍යාව

14. භෞතික විද්‍යාව

15. ගණිතය

16. කෘෂි විද්‍යාව

17. තොරතුරු සන්නිවේදන තාක්ෂණය

18. ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය

19. ආහාර තාක්ෂණය

20. යාන්ත්‍රික තාක්ෂණය

21. විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

22. කලා ශිල්ප

23. චිත්‍ර

24. නැටුම්

25. සංගීතය

26. සංගීතය (කර්නාටක)

27. සංගිතය (බටහිර)

28. නාට්‍ය හා රංග කලාව (දෙමළ)

29. විශේෂ අධ්‍යාපනය

30. ප්‍රාථමික අධ්‍යාපනය

31. පුරවැසි අධ්‍යාපනය

32. භූගෝල විද්‍යාව

33. සමාජ අධ්‍යාපනය

34. ඉතිහාසය (දෙමළ)

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks