01

E   |     |  

 දිනය: 2013-11-22   පිළිතුර ලබා දී ඇත 

3687/2013: Volleyball Association Chairman

3687/’13

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට 2012/2013 වර්ෂවලදී ලබා දී ඇති මුදල කොපමණද යන්න වෙන් වෙන් වශයෙන්  එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් අයකර ගන්නා මුදලින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රධාන වශයෙන් ආදායම් ලබන බවත්;

(ii) කරදර හිරිහැරවලට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් මැද පෙරදිග රටවල රැඳවුම් කඳවුරුවල දුක් විඳිමින් සිටියදී, ඔවුන් බේරාගෙන කඩිනමින්    ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය නොදී, එම මුදල් වොලිබෝල් ක්‍රීඩාව වැනි වෙනත් අරමුණු සඳහා වැයකිරීම අසාධාරණ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-22

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ඍජු අරමුණ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙත ගෙවීම් කර නොමැත. එහෙත් කාර්යාංශයේ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ දී ඒ සඳහා වූ වීසා, ගුවන් ගමන් හා යැපීම් දීමනා පහත සඳහන් ආකාරයට ගෙවීම් සිදු කර ඇත. ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන කාර්යාංශ ක්‍රීඩිකාවන් පහත පරිදි වේ.

* පී.පී.එල්.එස්.‍ සෝමරත්න මෙනවිය

* ජේ.ඒ.කේ. ජිනාදරී මෙනවිය

* කේ.වී.ටී.පී.  විතානගේ මෙනවිය

* පී.බී.එන්. නිලක්ෂි මෙනවිය

* එල්.කේ.ඩී. විජේකෝන් මෙනවිය

* යූ.ජී.එස්. රංගනී මෙනවිය

* පී.ඩබ්ලිව්.එච්. ඉසංකා මෙනවිය

* ඒ.එම්.පී.එස්. අධිකාරි මෙනවිය

* ඒ.ටී.ටී.එම්. රත්නසිරි මෙනවිය

 

2012 වර්ෂය

 

01. ඔවුන් 2012 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් ශූරතාවය දිනා ගත් බැවින් ආසියානු කාන්තා ක්‍රිඩා සමාජ ශූරතාවයට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව  2012.04.21 -  2012.04.29 දිනයන්හි තායිලන්තයේ පැවැති ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවයට සහභාගී වූ  කාර්යාංශ ගුවන් ටිකට් පත් ගාස්තුව රුපියල් 643,671.00

02. ඉහත ක්‍රීඩා සංචාරයට සහභාගී වූ කණ්ඩායමේ යැපීම් දීමනා රුපියල් 1,339,260.00

2013 වර්ෂය

01. 2013.09.13 සිට 2013.09.21  දක්වා තායිලන්තයේ පැවැති 17වන ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා තරග මාලාවට සහභාගී වූ කණ්ඩායමට ඇතුළත් වූ ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරිනියන්ගේ ගුවන් ටිකට් පත්, වීසා ගාස්තු හා යැපීම් දීමනා රුපියල් 540,000.00

02. එම තරගාවලියට සහභාගී වු කාර්යාංශ නිලධාරිනියන්ගේ ගමන් වියදම් රුපියල් 373, 573.75

(ආ) (i) ඔව්.

(ii) නැත.

(ඈ) කරදර හිරිහැරවලට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රමුඛත්වය දී කටයුතු කරයි. ක්‍රීඩාවන්හි හෝ ක්‍රීඩාවලට සම්බන්ධ වෙනත් කටයුතුවල නිරත වන රාජ්‍ය නිලධාරිනට ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයකදී හෝ ‍ඕනෑම ක්‍රීඩාවක් සඳහා ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරා ගත්විට සම්පුර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතු බවට ආයතන සංග්‍රහයේ XIIවැනි පරිච්ඡේදයේ 12.5 ඡේදයේ සඳහන් වේ.

ක්‍රීඩාව සඳහා දක්ෂතාවක් හෝ උනන්දුවක් දක්වන මෙන්ම අන්තර් ජාතික මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය නිලධාරින් ඒ සඳහා දිරිගැන්වීම මෙහි මූලික අරමුණ වේ.

මෙහි නියෝජනය රටට කීර්තිනාමයක් අත් වනවා සේම, ආයතනික මට්ටමින්ද ප්‍රසිද්ධියට පත් වේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන උක්ත අරමුණ පෙරදැරිව එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ආයතනික මට්ටමින් අනුග්‍රහය දැක්වීම සුලභව සිදු කෙරේ.

 

පිළිතුරු දුන් දිනය

2014-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks