පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3513/’13
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිබ්බටුමුල්ල කණිෂ්ඨ විද්‍යාලය වර්ෂ කීපයක සිට වසා දමා ඇති බවත්;
(ii) එම විදුහල් භූමිය හා ගොඩනැගිලි සම්බන්ධව පළාත් සභාව හෝ මධ්‍යම රජය මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බවත්;
(iii) ඒ හේතුවෙන් ඇතැම් පිරිස් විදුහල් භූමිය අත්පත් කරගනිමින් සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) 1975 වර්ෂයේදී ආරම්භ කළ එම විදුහලට අයත් භූමි ප්‍රමාණය, ගොඩනැගිලි සංඛ්‍යාව සහ අනෙකුත් භෞතික සම්පත් කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) තිබ්බටුමුල්ල කණිෂ්ඨ විද්‍යාලය වසා දැමූ දිනය කවරේද;
(ii) එය වසා දමන අවස්ථාවේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ සේවය කළ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) වසා දැමීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) වසා දමා ඇති මෙම පාසල සංවර්ධනය කර නැවත ආරම්භ කිරීමට හෝ විදුහල් භූමිය හා එහි ගොඩනැගිලි වෙනත් ඵලදායී කටයුත්තකට යොදා ගැනීමට පියවර ගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-11
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி அமைச்சர்)
(The Hon. Bandula Gunawardane - Minister of Education)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) අපේ රජයේ ප්‍රතිපත්තිය අනුව කිසිදු පාසලක් වසා දමන්නේ නැහැ. මහින්දෝදය පාසල් 1,000 වැඩසටහන යටතේ වසා දමා තිබූ පාසල් නැවත විවෘත කිරීම සිදු කරනවා. නමුත් මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරින් විසින් වාර්තා කර ඇති පරිදි පසු ගිය කාලය තුළ මේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම මත මෙම පාසල වසා තිබෙනවා. එම විදුහලේ භූමිය හා ගොඩනැඟිලි සම්බන්ධව පළාත් සභාව හෝ මධ්‍යම රජය කිසිදු අවධානයක් යොමු නොකළ බව සඳහන් කර තිබෙනවා.
මධ්‍යම රජයට මේ ගැන අවධානය යොමු කරන්න බැහැ. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් පළාත් සභාවේ සිටි නිසා ඒ ගැන දන්නවා. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පළාත් සභාවට.
(ii) විදුහල් භූමිය හා ගොඩනැගිලි සම්බන්ධව දැනටමත් අවශ්‍ය අවධානය යොමු කර ඵලදායී කටයුත්තකට යෙදවීමට පියවර ගෙන ඇත.
(iii) බාහිර පාර්ශ්ව විසින් අත් පත් කර ගැනීමක් සිදුවී නොමැත.
(ආ) 1975 වර්ෂයේ ආරම්භ කළ මෙම විදුහලට අයත් භූමි ප්‍රමාණය, ගොඩනැගිලි සංඛ්‍යාව සහ අනෙකුත් භෞතික සම්පත් මෙසේයි.
භූමි ප්‍රමාණය - අක්කර 02කි.
ගොඩනැගිලි සංඛ්‍යාව - 01කි. (20x60)
භෞතික සම්පත් - පාසලේ තිබුණු භෞතික සම්පත් ආසන්න පාසල්වලට ලබා දී ඇත. මේ වන විට ගොඩනැගිල්ල හා භූමිය පමණක් තිබේ.
(ඇ) (i) පාසල වසා දැමූ දිනය - 2001.01.03වෙනි දා ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන් දිනය - 2001.01.20වෙනි දා
(ii) පාසල වසා දැමූ දිනයේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව - 09යි
පාසල වසා දැමූ දිනයේ සිටි ගුරුවරු සංඛ්‍යාව - 03යි
ශිෂ්‍යයෝ නවදෙනෙක් සහ ගුරුවරු තුන්දෙනෙක් සිටීම නිසා තමයි මේ පාසලට දරුවෝ පැමිණෙන්නේ නැත්තේ. 2001 දී මේ පාසල වසා
දැමුවා කියලා තමයි පළාත් සභාව විසින් මා වෙත වාර්තා කරලා තිබෙන්නේ.
(iii) පාසල නගරයට ආසන්න (4 km ) බැවින් හා ප්‍රවාහන පහසුකම් ඇති බැවින් දරුවන් නගරයට සංක්‍රමණය වීම.
ගමේ ජන සංඛ්‍යාව අඩු වීම.
මෙම පාසලට ආසන්න පාසල් 02ක් පැවතීම.
(මා/බණ්ඩාරපොල ම.වි. - 2 km දුරින්ද, මා/කටුදෙණිය ම.වි. - 2Km දුරින් ද ඇත.)
(ඈ) මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත සෙමෙන් ඉගෙන ගන්නා දරුවන් සඳහා සුදුසු පාසලක් ආරම්භ කිරීම සඳහා අදාළ දෙමාපිය සංගමයෙන් කරනු ලැබූ ඉල්ලීම අනුව මේ වන විට එම පාසල පිළිසකර කරමින් පවතී. මේ සඳහා පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් යටතේ අනුමැතිය ලබා ගෙන පාලක මණ්ඩලයක් පත් කර ඉදිරි කටයුතු කරමින් පවතී.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks