01

E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

3382/2014: වන අලි ආරක්ෂක විදුලි වැටවල් : විකල්ප ක්‍රමවේදය

3382/’12

ගරු පී. හැරිසන් මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති  වන අලි ආරක්ෂක විදුලි වැටවල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම විදුලි වැටවල්වල සමස්ත දුර ප්‍රමාණය කොපමණද;

(iii) එම වැටවල් නඩත්තුව සඳහා ගෙන ඇති පියවර කවරේද;

(iv) විදුලි වැටක කිලෝමීටරයක් ඉදිකිරීමට සහ නඩත්තුවට යන දළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද? 

(ආ) පසුගිය වර්ෂ 5 තුළ,

(i) ඉදිකර ඇති වන අලි ආරක්ෂක විදුලි වැටවල් සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් විදුලි වැටෙහි දුර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) අලි මිනිස් ගැටුම නිසා අහිමිවූ මිනිස් ජීවිත, දේපළ හා වන අලි සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද; 

(iv) ඉහත සඳහන් හානි වෙනුවෙන් රජය ගෙවනු ලැබූ වන්දි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත සඳහන් පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබියදීත්, වන අලින්ගේ ජීවිත, මිනිස් ජීවිත හා දේපළ හානි සිදුවීමේ වර්ධනයක් සිදු වී ඇති බවත්;

(ii) එබැවින්, එම ක්‍රමවලට වඩා වෙනස් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීම සුදුසු වන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඈ) එසේ නම්, ඉහත ඇ(ii) ට අදාළ විකල්ප ක්‍රමවේදය එතුමා මෙම සභාවට හෙළිකරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)        124යි.

              (ii)        කිලෝමීටර් 2,170යි.

             (iii)        විදුලි වැටවල් නඩත්තුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිවිල් ආරක්ෂක භටයින් යොදවා ඇත.

             (iv)        විදුලි වැට කිලෝමීටර 1ක් ඉදි කිරීම සඳහා වැය වන මුදල - රුපියල් 500,000.00

                         විදුලි වැට කිලෝමීටර 1ක නඩත්තුව සඳහා මාසිකව වැය වන මුදල - රුපියල් 6,000.00

(ආ) (i)  පසු ගිය වසර 05 තුළ (2009-2013) ඉදි කර ඇති විදුලි වැට සංඛ්‍යාව 61කි.

2013 වර්ෂයේ ආරම්භ කර ඉදි කරමින් පවතින වැටවල් සංඛ්‍යාව 16කි.

(ii) එක් එක් විදුලි වැටෙහි දුර ප්‍රමාණය ඇමුණුමෙහි දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.

සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 1,559කි.

2013 වර්ෂයේ ආරම්භ කර ඇති විදුලි වැටෙහි සමස්ත දුර කිලෝමීටර් 715ක් වන අතර, සියයට 80ක් දැනට ඉදි කර අවසන් කර ඇත. ඉතිරි ප්‍රමාණය ඉදි කරමින් පවතිනු ඇත.

(iii) අලි මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වූ ජීවිත හානි, දේපළ හා වන අලි මරණ සංඛ්‍යාව

(iv) පසු ගිය වර්ෂවල වන්දි වෙනුවෙන් වැය කර ඇති මුදල

(ඇ)  (i)  ආරක්ෂක වැඩ පිළිවෙළක් යොදා තිබියදීත් වන අලින්ගේ ජීවිත හානි, මිනිස් ජීවිත හානි හා දේපොළ හානි සිදුවීමට හේතු.

   විදුලි වැටෙන් පිටත වන අලින්ට රැඳී සිටිය හැකි වනාන්තර පිහිටා තිබීම. (කුරුණෑගල, පුත්තලම)

   තවදුරටත් විදුලි වැටෙන් ආවරණය නොවූ ප්‍රදේශ තිබීම.

   උතුරු නැ‍ඟෙනහිර නැවත පදිංචි කරන ප්‍රදේශ ජනතාව අතහැර ගොස් ඇති කාලය තුළ වන අලින් වාසස්ථාන කර ගැනීම

වන අලින් ගැවසෙන ප්‍රදේශවල ඇති වනාන්තරවලට අපරීක්ෂාකාරී ලෙස ඇතුළුවීම හා වනාන්තර මැදින් වැටී ඇති මාර්ගවල ගමන් කිරීම නිසා ජීවිත හානි හා ශාරීරික හානි සිදු වීම.

ඇතැම් වන අලින් විදුලි වැටවලට හානි සිදු කර ගම්වැදීම.

වන අලි සංක්‍රමණික මාර්ග අවහිර කිරීම.

     (ii)  ඔව්.

(ඈ)  ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම වසර සිට ක්‍රියාත්මක කිරීම සඳහා වන අලි කළමනාකරණ සැලැස්මක් සකස් කර ඇත.;

දැනට ඉදි කර ඇති විදුලි වැටවලට අමතරව විදුලි වැට කි.මී. 3000ක් පමණ ඉදි කිරීම.;

වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණික මාර්ග හඳුනා ගෙන ඒවා සංරක්ෂණය කිරීම;

ඉදි කරනු ලබන විදුලි වැටට අමතරව එම වැට මාර්ගයේදී ජෛව වැට ලෙස හණ වැවීම, තල් වැවීම මඟින් ජෛව වැට ඉදි කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා පෞද්ගලික අංශයේ හා විවිධ පරිසර සංවිධානවල සහාය ලබා ගනු ලැබේ;

වනජීවී සුපෝෂණ කටයුතු.;

අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම වෙනත් ආයතනවලද සහාය ලබා ගැනීම;

ජනතාව දැනුවත් කිරීම.

(ඉ)  අදාළ නොවේ.

* සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

පිළිතුරු දුන් දිනය

2014-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks