01

E   |     |  

 දිනය: 2013-10-08   පිළිතුර ලබා දී ඇත 

3012/2013: ශ්‍රී ලංකා වරාය අධිකාරියේ "පිය - පුතු පදනම" මත පුහුණුව ලබා ගත් දරුවන් : රැකියා අවස්ථා

3012/’12

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාමික හා විශ්‍රාමයාමට බලාපොරොත්තුවන  සේවකයින්ගේ දරුවන් පිය - පුතු පදනම මත තාක්ෂණ හා තාක්ෂණ නොවන පුහුණු කණ්ඩායම් දෙකක් ලෙස බඳවාගෙන එම ආයතනය තුළ වර්ෂ තුනක පුහුණුවක් ලබාදී ඇති බවත්;

(ii) එම පුහුණුව ලැබූ අයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ රැකියා ලබා නොදීම නිසා ඔවුන් දැඩි අසරණභාවයට පත්ව සිටින බවත්;

(iii) එම පිරිසට රැකියා ලබා නොදී වෙනත් අයට හිතවත්කම් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා ලබා දෙන බවට චෝදනාවක් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙතෙක් රැකියා ලබා නොදීම ඉහත පුහුණුව ලැබූවන්ට කරන බලවත් අසාධාරණයක් බවත්;

(ii) එම පුහුණු ශ්‍රමිකයන්ගෙන් ප්‍රයෝජන නොගැනීම ජාතික අපරාධයක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිය - පුතු පදනම මත පුහුණුව ලබා ගත් දරුවන් සඳහා කඩිනමින් සුදුසු රැකියා ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-08

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)

(The Hon. Rohitha Abeygunawardana)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)          (i)      “ඔව්” පුහුණුවක් ලබා දී ඇත.

                         පළමු   අදියර යටතේ  2004-01-01 දින සිට 2007-01-15 දින දක්වා විශ්‍රාම ගනු ලැබූ සේවක මහත්ම  මහත්මීන්ගේ 2007-01-01 දිනට වයස අවු: 16ට වැඩි හා 25ට අඩු අ.පො.ස. (සා.පෙළ)  සමත් පිරිමි දරුවන් වෙනුවෙන් ක්ෂේත්‍ර එකොළහක් (11) යටතේ තෙවසරක තාක්ෂණික  ශ්‍රේණිගත පුහුණුවක් ලබා දෙන ලදි.

දෙවන අදියර යටතේ 2005-01-01 දින සිට 2008-03-14 දින දක්වා  විශ්‍රාම ගනු ලැබූ සේවක මහත්ම මහත්මීන්ගේ 2008-01-01 දිනට අවු: 16ට වැඩි හා 28ට අඩු අ.පො.ස. (සා.පෙළ) සමත් දරුවන් සඳහා ක්ෂේත්‍ර දොළහක් (12) යටතේ   තෙවසරක  තාක්ෂණික හා තාක්ෂණික නොවන ශ්‍රේණිලත පුහුණුවක්   ලබා දෙන ලදි.

(ii) අනුමතව පවතින ක්‍රමවේදයන් තුළ පුරප්පාඩු ඇති තනතුරු සඳහා 2013-08-15 දින සිට මෙම අභ්‍යාසලාභීන් සඳහා නව පත්වීම් ලබා දී ඇත. මොවුන් පුහුණුව ලැබූ ක්ෂේත්‍රයන්ට අදාළව  බඳවා ගැනීම් පටිපාටීන්ට අනුකූලව අනුමත සේවක සංඛ්‍යාව තුළ මතු වන  පුරප්පාඩු අතුරින් සියයට 75ක  ප්‍රතිශතයක් මෙම පුහුණු වූවන් සඳහා ලබා දීමට කටයුතු  සූදානම් කර ඇත.

දෙවන අදියර යටතේ පුහුණුව ලැබූ කාන්ෂණික ශ්‍රේණිගත අභ්‍යෘසලාභීන් වෙනුවෙන්ද ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(iii) මොවුන් පුහුණුව ලැබූ ක්ෂේත්‍ර යටතේ බඳවා ගැනීම් සිදු කර නොමැත.

එනමුදු පුහුණු හා වෘත්තිය  සුදුසුකම්  ලත් අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් පුවත් පත් මඟින් අයදුම් පත් කැඳවා පත්වීම් ලබා දී ඇති අතර,  එයද ඉතා සීමිත සංඛ්‍යාවක් පමණි. අනුමත සේවක සංඛ්‍යාව තුළ  මතු වන පුරප්පාඩු  වෙනුවෙන් ඉදිරියේදී මෙම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ඇත.

(ආ) (i) රැකියා  පුහුණුව වරාය අධිකාරියෙන් ලබා දුන්නද මොවුන්ගෙන් පවතින පුරප්පාඩුවලින් සියයට 75ක ප්‍රමාණයක් පමණක් ශ්‍රී ලංකා වරාය                           අධිකාරියේ රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරන අතර, මෙම පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කිසිදු ගෙවීමක් අය නොකළ අතර, පුහුණු කාලය තුළ යැපීම් දීමනාවක් සමඟ දිවා ආහාරයද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබා දී ඇත.

(ii) මෙම පුහුණු අභ්‍යාසලාභීන්ගෙන් කණ්ඩායමක් දැනටමත් වරාය අධිකාරියට  බඳවා ගෙන ඇති අතර, මොවුන්ගේ පුහුණුව මත වෙනත් රජයේ හේ පෞද්ගලික ආයතනවල රැකියා සඳහ ද යොමු වීමේ ඉඩ කඩ හා අවකාශ ඇත.

(ඇ) දැනටමත් මෙම පුහුණුව ලැබුවන් අතරින් කණ්ඩායමක් බඳවා ගෙන ඇති අතර, ඒ  ඒ ක්ෂේත්‍රවල ඉදිරියේදී පවතින තනතුරුවල අවශ්‍යතාවය මතද බඳවා ගැනීමේ න්‍රමවේදයන් අනුව ක්‍රියත්මක වනු ඇත.

(ඈ) ඉහත “ඇ”හි පිළිතුර ද මෙයටත් අදාළ කර ගත හැකිය. 

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks