01

E   |     |  

 දිනය: 2019-09-04   පිළිතුර ලබා දී ඇත 

0616/2019: ක්‍රිකට් භාණ්ඩ ප්‍රදානය කිරීමේ උත්සවය: 'ශ්‍රී ලංකා ක්‍රිකට්' හිටපු නිලධාරියකු සහභාගි වීම

616/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කොළඹ දිස්ත්‍රික්කයේ, තෝරාගත් පාසැල් 35ක් සඳහා ක්‍රිකට් භාණ්ඩ ප්‍රදානය           කිරීමේ උත්සවයක් 2018.10.02 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට්           ශ්‍රවණාගාරයේදී පැවැත්වූ බවත්;

             (ii)      එම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය වෙනුවෙන් තරඟ සංවිධායක කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ බන්දුල දිසානායක නමැත්තෙකු සහභාගී වූ බවත්;

(iii) එම උත්සවය සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ටයි පටියද පැළඳ සිටි බවත්;

‍ එතුමා දන්නෙහිද?

 

(ආ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් දමා නිසි බලධාරියෙකු යටතේ ක්‍රියාත්මක වූ එවැනි අවස්ථාවකදී හිටපු බලධාරියකුට මෙවැනි උත්සව සඳහා සහභාගී වීමට ඇති නෛතික හා සදාචාරාත්මක පසුබිම කවරේද;

  (ii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් යහපාලන රජයේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම වැළැක්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-04

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එවකට ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ අග-හිඟකම් ඇති පාසල් අතර ක්‍රිකට් උපකරණ බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් උපකරණ ඉල්ලා ඇති අතර, එම ප්‍රතිලාභින් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ සිටින බැවින්, කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හරහා එම පරිත්‍යාග ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ උත්සවයක් පවත්වා ඇත.

(ii) කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් බන්දුල දිසානායක මහතා මෙම උත්සව අවස්ථාවට සහභාගි වී ඇත. කිසිදු විටෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයෙකු ලෙස එතුමා එම අවස්ථාවට සහභාගි වී නොමැත.

(iii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය සාමාජික සංගම්හි නිලධාරින් වෙත නිකුත් කළ ටයි පටියක් එම අවස්ථාවේ බන්දුල දිසානායක මහතා පැළඳ සිට ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරින් විසින් පළඳිනු ලබන නිල ටයි පටිය නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරනු ලබන ටයි පටි ප්‍රසිද්ධ උත්සවයකට පැළඳීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් කර නොමැත.

(ආ) (i) කොළඹ දිස්ත්‍රික් සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් එම අවස්ථාවට ආරාධනා ලැබ, බන්දුල දිසානායක මහතා සහභාගි වී ඇත. එබැවින්, නෛතික සහ සදාචාරාත්මක පසු බිම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනඟී.

(ii) එවැනි චෝදනාවක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී නොමැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks