01

E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1607/2017: විදුලිය උත්පාදනයේදී ස්වාභාවික ද්‍රව වායු භාවිතය: විස්තර

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ශ්‍රී ලංකාවේ විදුලිය  උත්පාදනය කිරීමේදී ද්‍රව තත්ත්වයට පත්කළ ස්වභාවික වායු (LNG) භාවිතා කිරීම සඳහා රජය විසින් තීරණයක් ගෙන තිබේද;

            (ii)      ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත ස්වභාවික වායු වාණිජමය භාවිතයට ගැනීමට තවමත් හැකියාවක් නොමැති බව දන්නේද;

(iii) එසේ නම්, විදුලි උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ද්‍රව තත්ත්වයට පත් කළ ස්වභාවික වායු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ ගබඩා කිරීම පිළිබඳව රජයට ඇති  වැඩපිළිවෙළ කවරේද;

(iv) එසේ ‍නොමැති නම්, ද්‍රව ස්වභාවික වායු හඳුන්වාදෙන බව පවසමින් රජය විසින් සිදු කරනු ලබන්නේ ඩීසල් මඟින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන බලාගාර ඉදිකිරීමේ ක්‍රියාදාමයක්ද;

(v) එවැනි අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නම්, රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ‍නොගන්නේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

                        ගරු මන්ත්‍රීතුමනි, අපි ඒ තීරණය අරගෙන තිබෙන්නේ කාරණා කිහිපයක් නිසායි. ඒ කියන්නේ, සම්පූර්ණ පද්ධතිය LNGවලින් ධාවනය කරන්න නොවෙයි. අපේ අපේක්ෂාව, අනෙකුත් මූලාශ්‍ර සමඟ LNG භාවිත කරන්නයි.

              (ii)       දැනට "ඔව්'. තවමත් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත ස්වාභාවික වායු වාණිජමය ලෙස භාවිතා කළ නොහැක. ශ්‍රී ලංකාවට අයිති මුහුදු සීමාවක් තුළ ස්වාභාවික වායු ඉන්ධනයක් ලෙස ලබා ගැනීමට හැකි බව පරීක්ෂණවලදී පෙනී ගොස් තිබෙනවා. ඒ පිළිබඳ බොහෝ ගවේෂණ කරලා තිබෙනවා; වාණිජමය අධ්‍යයන කරලා තිබෙනවා. නමුත්,  ශ්‍රී ලංකාවේ පොළොව යට තිබෙන ස්වාභාවික වායු ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගත හැකි වාණිජමය ක්‍රියාවලියක් විවිධ හේතු නිසා තවමත් ආරම්භ වෙලා නැහැ.

(iii) ගරු මන්ත්‍රීතුමනි, මෙය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මෙවැනි ප්‍රශ්නයක් මතු කිරීම පිළිබඳ මම ඔබතුමාට ස්තුතිවන්ත වනවා. ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, විදුලිබල ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා ඉන්ධන විවිධාංගීකරණය කිරීම සහ විදුලි ජනන වියදම අවම කිරීම යන කරුණු අරමුණු කර විදුලිබල ජනනය සඳහා ඉන්ධනයක් ලෙස ස්වාභාවික වායුව යොදා ගැනීම ප්‍රධාන කරගත් ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් සම්බන්ධව මූලික එකඟතාවට පැමිණ ඇත. ඇමුණුමෙහි දැක්වේ.  ඇමුණුම සභාගත* කරමි.‍

රජය වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඒ වාගේම ප්‍රධාන වශයෙන්ම මේ රටේ ඉන්ධන භාවිත කරන ලංකා විදුලිබල මණ්ඩලය සහ ඒ අනුබද්ධ ආයතන.

(iv)   ඊළඟ ප්‍රශ්නය විධියට ඔබතුමා අසන්නේ, ඇත්තටම LNGවලින් විදුලිය නිෂ්පාදනය කරනවා කියලා කිව්වාට සත්‍ය වශයෙන්ම  ඩීසල් මඟින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන බලාගාර හදනවාද කියලා. LNG හරහා ඒ කියන්නේ, ගල් අඟුරු භාවිතය පිළිබඳ පසුගාමී මතයක් ඇතිකොට LNG නමින් ඩීසල් බලාගාර ආරම්භකොට දිගටම ඩීසල්වලින් දුවන්නද හදන්නේ කියලා. ඇත්තවශයෙන්ම එය ඉතාම සාධාරණ ප්‍රශ්නයක්.

මීට කලින් මෙගාවොට් 300ක බලාගාරයක් කෙරවලපිටියේ ආරම්භ කළා. එය දැන් තිබෙනවා. එම බලාගාරය ඉක්මනින්ම LNG වලට හරවන්න අපේක්ෂා කළා. නමුත් එහෙම වුණේ නැහැ.  ඇත්තවශයෙන්ම ඒ පිළිබඳව ඉතිහාසය සොයා බැලුවාම පේනවා, එසේ LNG ලබා ගැනීමට හෝ ඒවා ගබඩා කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් ඉක්මනින් සකස් කිරීමට කිසිවෙකුට උනන්දුවක් නොතිබුණු බව. නමුත් වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ, බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ගල්අඟුරු, ද්‍රවීකෘත ස්වාභාවික වායු, -LNG-  සූර්ය බලය, සුළං බලය ඒ වාගේම  ඩීසල්  ‍යන මේ සියලුම මූලාශ්‍ර පිළිබඳව අපි සොයා බැලු; භාවිත කළා. 

මම ඔබතුමාට වගකීමෙන් මෙය කියනවා. මේ  අනතුර අපි දන්නවා. ඒ කියන්නේ දැන් අපි අලුතෙන් මෙගාවොට් 300ක තව බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.‍ ඒ බලාගාරය -  [බාධා කිරීමක්] LNG බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එම ටෙන්ඩරය තමයි පසු ගිය  දවස්වල ප්‍රශ්නයකට ලක්වුණු ටෙන්ඩරය. එම ටෙන්ඩරය පිළිබඳ ප්‍රශ්නය විසඳාගෙන අපි ඉස්සරහට යනවා. දැන‍ට යෝජනා කර තිබෙන්නේ, ආරම්භක අවස්ථාවේ ඩීසල්වලින් කටයුතු කරන්න,  නමුත් වසරක් ඇතුළත LNG වලට මාරුවෙන්න. එහෙම කරන්න නම්  terminal එකක්  අවශ්‍යයි. ඒ කියන්නේ ද්‍රවීකෘත වායු ගොඩබෑමට සහ ගබඩා කර  තැබීමට වුවමනා කරන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. මේ පිළිබඳව රජය ඉතාමත් පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ ප්‍රතිපත්තිය අනුව  විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතා සඳහා මෙගාවොට් 1,000 ක ධාරිතාවට ගැලපෙන LNG terminal  එකක් ඉදි කර ගන්නට ඔවුනට අවසර දුන්නා.

ඒ වාගේම Ceylon Petroleum Corporation  එක සහ ඉන්දු, ජපාන හවුල් ව්‍යාපෘතියක් ලෙස තවත් terminal  එකක් සඳහා ඔවුන්ට අවසර දීලා තිබෙනවා. ඒ අනුව ද්‍රවීකෘත වායු ලබා ගැනීම ඉක්මනින්ම යථාර්ථයක් බවට පත් කරනවා. මොකද, ඩීසල්වලින් පරිසර දූෂණය වැඩියි; මිල වැඩියි. ඒ නිසා ඒවායින් දිගින් දිගටම දෙන්න බැහැ. දැනට තිබෙන combined-cycle power plants ඒ කියන්නේ ඩීසල්වලින් හෝ බර තෙල්වලින් දුවන යන්ත්‍ර ඉක්මනින්ම  LNG වලට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා.

(v)   මෙය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ගරු මන්ත්‍රීතුමනි, එවැනි අනතුරුදායක තත්ත්වයක් නොපවතී. අපි ඔබතුමාට වගකීමෙන් කියනවා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය එක්ව දැනටමත් ශීඝ්‍රගාමී පුනර්ජනනීය බලශක්ති වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව. ඒ අනුව 2020 වන විට මෙගාවොට් 1,246ක් දක්වාත්, 2025 වන විට මෙගාවොට් 1,912ක් දක්වාත්,  2030 වන විට මෙගාවොට් 2,476ක් දක්වාත්  පුනර්ජනනීය විදුලි බලාගාර පිළියෙළ කිරීමට බලාපොරොත්තු වී ඇත. මේ කියන්නේ ජල විදුලි බලාගාර හැර. සූර්ය බලයට සහ සුළං බලයටයි ප්‍රමුඛතාව තිබෙන්නේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks