01

E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1588/2017: පරිසර දූෂණය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි : මාතර දිස්ත්‍රික්කය

1588/’17

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කයේ, පරිසර දූෂණය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(ii) පැමිණිලි වර්ගීකරණය අනුව වැඩි වශයෙන් වාර්තා වී ඇති පැමිණිලි කවරේද;

(iii) ලැබී ඇති, පැමිණිලි අතර මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමතිය ලබාගෙන ඇති ආයතන සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(iv) එම ආයතන මධ්‍යම පරිසර අධිකාරියේ නීති රීති අනුව කටයුතු කර තිබේද;

(v) මාතර මහනගර බලප්‍රදේශයේ කර්මාන්තශාලා සහ ගල්වැඩපලවලින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ පරීක්ෂා කර තිබේද;

(vi) ජලයට බැරලෝහ එකතුවීම, වායු දූෂණය සහ ශබ්ද දූෂණය සම්බන්ධයෙන්  මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරීක්ෂාවට ලක් කළ ආයතන කවරේද;

(vii) එම පරීක්ෂාවන්හි නිගමන කවරේද;

(viii) මධ්‍යම පරිසර අධිකාරි පනත ප්‍රකාරව, දී ඇති උපදෙස් නොසලකා හැර ඇති ආයතන කොපමණ සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      111 කි.

              (ii)      පැමිණිලි වර්ගීකරණයට අනුව මධ්‍යම පරිසර අධිකාරිය වෙත වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇත්තේ කර්මාන්තවලින් සිදු වන පරිසර දූෂණය යටතේ වන අතර, ඊට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 94ක් වේ.

             (iii)      මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගෙන ඇති ආයතන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 14 කි.

(iv) මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගෙන ඇති ආයතන සියල්ල පරීක්ෂා කර බලා අධිකාරියේ ප්‍රමිතීන්වලට අනුකූලව කටයුතු කරන ලෙස කර්මාන්තකරුවන් වෙත දැනුම්දීමකින් අනතුරුව පරිසර දූෂණ තත්ත්වයන් පාලනය කර ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුවිපරම් කටයුතු සිදු කිරීම මඟින් ඒ බව තවදුරටත් තහවුරු කර ඇත.

එසේම උක්ත ආයතන මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන් හා නීති-රීතිවලට අනුකූලව කටයුතු කරන බව වාර්තා වී ඇත.

(v) පරීක්ෂා කර ඇත.

මාතර මහනගර සභා බල ප්‍රදේශයේ කර්මාන්තවලට අදාළ වර්ගීකරණයන් ඇතුළත් ලැයිස්තුව පහත දැක්වේ. එම ආයතන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොන්දේසිවලට යටත්ව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කර ඇති අතර, නිරන්තර පසුවිපරම් සිදු කරයි.

01. ගල් වැඩ පොළවල් ප්‍රමාණය - 34

02. ගරාජ් ප්‍රමාණය - 46

03. වාහන සේවා ස්ථාන ප්‍රමාණය - 35

04. ආහාර නිෂ්පාදන කර්මාන්ත ප්‍රමාණය - 14

05. සත්ත්ව ගොවි පොළවල් ප්‍රමාණය - 12

06. දූරකථන සන්නිවේදන කුලුනු ප්‍රමාණය - 30

07. ඇඟලුම් කර්මාන්ත ප්‍රමාණය - 06   

(vi) සැලකිය යුතු ප්‍රමාණයකට බැර ලෝහ එකතු විය හැකි කර්මාන්ත පිළිබඳව, සංගණනයට අනුව වාර්තා වී නොමැති අතර, බැර ලෝහ ජලයට එකතු වීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි ද මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබී නොමැති බැවින් බැර ලෝහ පිළිබඳව පරීක්ෂා කර නොමැත.

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියට හා ලැබී ඇති පැමිණිලිවලට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වායු දූෂණය හා ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කර්මාන්ත හතරක් පරීක්ෂා කර ඇත.

(vii) පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියට හා ලැබී ඇති පැමිණිවලට අදාළව සිදු කළ පරීක්ෂණයන්හි පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල අනුව, කර්මාන්ත හතරම මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්වලට අනුකූලව පවතින බව නිරීක්ෂණය වී ඇත.

(viii)  අධිකරණයේ නඩු පවරා අවසන් කර්මාන්ත සංඛ්‍යාව 2කි.

නඩු කටයුතු ආරම්භ කිරීමට ඇති කර්මාන්ත සංඛ්‍යාව 13කි. (මධ්‍යම පරිසර අධිකාරියේ නීති අංශය මඟින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.)

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-08-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks