01

E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1475/2017: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය : නිදහස් ගමන් බලපත්‍ර

1475/’16

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිදහස් බස් ගමන් බලපත්‍ර ලබා දී ඇති රාජ්‍ය සේවකයන් හා වෙනත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඔවුන් සේවය කරන ආයතන හා පදිංචි දිස්ත්‍රික්ක කවරේද;

(iii) එම එක් එක් රාජ්‍ය ආයතනය විසින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මාසිකව ගෙවන මුදල් ප්‍රමාණය, එක් එක් ආයතනය අනුව වෙන්  වෙන් වශයෙන් කොපමණද;

(iv) එම නිදහස් ගමන් බලපත්‍රය භාවිතා කරන මාර්ගවලට අදාළව බස්රථ ධාවනයට යොදවා ඇති ඩිපෝවලට එම මුදල සෘජුවම ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කර තිබේද;

(v) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ නවතා තැබීමේදී, ධාවනය කිරීමේදී හා වෙනත් සේවක ගැටලුවලදී ශ්‍රී ලංකා  ගමනාගමන මණ්ඩලය මුනිවත රකින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දන්නේද;

(vi) එම සේවකයන්ගේ ගැටලු විසඳීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දායකත්වය වැඩි වශයෙන් ලබා ගැනීමට ක්‍රියා කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 28,059 ක් වන අතර, වෙනත් පුද්ගලයින් සඳහා නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර නොමැත.

              (ii)      ඔවුන් සේවය කරන ආයතන  සඳහන් වගුව සභාගත* කරමි.

             (iii)      අදාළ ආයතන විසින් මණ්ඩලයට 2016 වර්ෂයට අදාළව ගෙවා ඇති මුදල ආයතන වශයෙන් වෙන් වෙන්ව දක්වා ඇති වගුව සභාගත* කරමි.

නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන ඉහත ආයතන සඳහා මුදල් අයකරනු ලබන්නේ වාර්ෂිකව බිල්පත්‍ර ඉදිරිපත් කිරීමෙන් බැවින්, ප්‍රථමව වාර්ෂිකව අය කරනු ලබන මුදල සඳහන් කරන අතර, ඔබගේ පහසුව සඳහා මාසිකව ද එය සඳහන් කර ඇති බව දන්වමි.

(iv) නැත.

එසේ වුවද නව ප්‍රවේශපත්‍ර යන්ත්‍ර ඔස්සේ මෙම මුදල ඩිපෝ සඳහා සෘජුවම  ලබාදීමට ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරමින් පවතී.

දැනට නිදහස් ගමන් බලපත්‍ර භාවිත කරන මාර්ගවලට අදාළව බස් රථ ධාවනයට යොදවා ඇති ඩිපෝවලට එම මුදල සෘජුවම ලබාදීමක් සිදු නොකළ ද ඊට වඩා මූල්‍ය ප්‍රතිපාදන ඩිපෝවලට ලැබෙන පරිදි ප්‍රධාන කාර්යාලය විසින් සියලුම ප්‍රාදේශීය කාර්යාලවලට හා ඩිපෝවන් වෙත ද රියදුරු පුහුණු පාසල්, ප්‍රාදේශීය වැඩපලවල් වෙත ද පහත දක්වා ඇති පරිදි;

එක් එක් සේවකයින්ගේ වැටුපෙන් කොටසක් ලෙස රුපියල් 16,200.00ක මුදලක් ගෙවීම සඳහාත්,

සියලුම සේවකයින්ගේ වාර්ෂික ප්‍රසාද දීමනා මුදල් ගෙවීම සඳහාත්,

සියලුම සේවකයින්ගේ අර්ථසාධක අරමුදල ගෙවීම සඳහා.

වෙනත් අත්‍යවශ්‍ය ගෙවීම් කිරීම සඳහා යනාදී වශයෙන් විශේෂයෙන් මුදල් ප්‍රතිපාදනය කරනු ලබයි.

(v) ශ්‍රී ලංගම බස් රථ ධාවනය හැසිරවීමටත්, බස් රථ නවතා තැබීමටත්, සේවකයන්ට අදාළ ගැටලුවලදී විසඳුම් ලබාදීමටත් විධිමත් ක්‍රමවේද අනුගමනය කරනු ලබන ආයතනයකි. එබැවින් බස් රථ ධාවන කාල සටහන් පදනනම් කරගෙන බස් රථ මෙහෙයවීමට ද, කම්කරු නීති හා ව්‍යවස්ථා පදනම් කරගෙන සේවකයින් බස් රථවල සේවයේ යෙදවීමට ද, සේවකයින්ගේ ගැටලුවලට පිළියම් යෙදීමෙන් ධාවන පිළිවෙත් 12ක් හා පාලන පිළිවෙත් 21ක් ද, විධිමත් චක්‍රලේඛ නිත්‍ය නියෝග ද පදනම් කරගන්නා බැවින්, සේවකයින්ට මතුවන ගැටලු විධිමත්ව කළමනාකරණය කිරීම ශ්‍රී ලංගම පරිපාලනය සෘජුවම මැදිහත්වී ක්‍රියා කරනු ලබයි.

(vi)  ඔව්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක ගැටලුවලට අදාළව ඉහතින්ද දක්වා ඇති පරිදි පූර්ණ වශයෙන් පරිපාලන දායකත්වය හා මැදිහත්වීම ඍජුවම ලබා දෙමි.

තවද පොදු මඟී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික ව්‍යවසායකයන්  මෙම ගැටලු විසඳීමේදී අපගේ  සේවය ඍජුව ලබා නොගත්තද, පළාත්බද මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ලයේ නිලධාරි මහතකුද සහභාගි වීමෙන් ඒ සඳහා  අවශ්‍ය දායකත්වය ලබා දෙනු ලබයි.   

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks