01

E   |     |  

 දිනය: 2014-07-11   පිළිතුර ලබා දී ඇත 

4475/2014: බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම : මන්නාරම දිස්ත්‍රික්කය

4475/’13

 

ගරු තිස්ස අත්තනායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මන්නාරම දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රදේශයේම බිම් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කොට සාමාන්‍ය ජනතාවට ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දී තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ, මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉරණෙයි ඉලුප්පායකුලම් ප්‍රදේශයේ  එම්. කේ. යසවතී මහත්මිය සතු අක්කර 20 ක පමණ භූමියක පිහිටුවා තිබූ යුද හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කල පසු එම භූමියේ බිම් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කොට ශුද්ධ පවිත්‍ර කර දී නොමැති බවත්;

 

(ii) එම හේතුවෙන් අදාළ ඉඩම් හිමිකරුවන් වගා කටයුතු සිදුකිරීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) එසේ නම්, ඉහත සඳහන් ඉඩමේ හිමිකරුවන් හට තම වගා කටයුතු කරගෙන යෑමට හැකි වන පරිදි  එම වගා බිම් ශුද්ධ පවිත්‍ර කරදීමට ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-11

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        ඔව්, මන්නාරම දිස්ත්‍රික්කයේ හඳුනාගත් බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සහිත සම්පූර්ණ භූමි ප්‍රමාණය  වර්ග කිලෝමීටර් 249.84 වන අතර, එයින් වර්ග කිලෝමීටර් 225.57ක භූමි ප්‍රමාණයක බිම් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත.  ඉතිරි වර්ග කිලෝමීටර් 24.27ක භූමි ප්‍රමාණය කැලෑබද ප්‍රදේශ වන අතර,  එම ප්‍රදේශයේද මේ වන විට ජාතික බිම් වෙඩි ඉවත් කිරීමේ  මධ්‍යස්ථානය මඟින් බිම් වෙඩි ඉවත් කිරීමේ කාර්යයෙහි නිරතව සිටී.

(ආ)          (i)       ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මානුෂවාදී වෙඩිබිම් ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Swiss Foundation for Demining (FSD) මඟින් මෙම ප්‍රදේශයේ බිම් බෝම්බ සහ පුපුරණ  ද්‍රව්‍ය ඉවත් කර ඇත.  නමුත් මෙම භූමියේ ඉදි කරන ලද බංකරයක වළක්, මීටර් 30ක් පමණ දිග යුද අගලක් සහ භූමියේ තැන් කීපයක පවතින කටු කම්බි සහ කන්සටිනා වයර් ඉතිරිව පවතින අතර, ඒවා ඉවත් කිරීමට ඉදිරි ක්‍රියා මාර්ග අරඹා ඇත.

(ii) මෙම භූමියේ පවතින බංකරය සහ යුද අගල, වගා කටයුතු සඳහා කිසිදු බලපෑමක් නොවන අතර දැනට ඉඩමේ හිමිකාරියගේ ඥාති පවුලක් මෙහි අක්කරයක පමණ වූ භූමි ප්‍රදේශයක වගා කටයුතු සිදු කරමින් ජීවත් වේ. භූමියේ ඉතිරි කොටස දීර්ඝ කාලයක් වගා කටයුතු නොකිරීම නිසා ගස් වැවී වල් බිහිවී  ඇත.

(ඇ) මෙම ඉඩමේ ඇති යුද අගල හා බංකරය සඳහා කපන ලද වළ වසා දැමීමටත් එම භූමියේ ඇති කන්සටිනා සහ කටු කම්බි ඉවත් කිරීමටත් අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග දැනටමත් ගෙන ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks