01

E   |     |  

 දිනය: 2014-04-23   පිළිතුර ලබා දී ඇත 

4408/2014: ළමා නිවාස දරුවන්: සමාජගත කිරීම

4408/’13

 

ගරු තිස්ස අත්තනායක මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ රජයේ හා ස්වේච්ඡා සංවිධාන මගින් පාලනය වන ළමා නිවාසවල වාසය කරන දරුවන් එම ළමා නිවාසවලින් පිටමං කර සමාජගත කිරීම සිදුකරනු ලබන වයස් සීමාව කවරේද;

  (ii)  එම වයස් සීමාවට එළැඹෙන තෙක් ළමා නිවාස තුළ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට ගෙන ඇති පියවර කවරේද;

  (iii)  ළමා නිවාසවලින් පිටමං කරන දරුවන්ගේ  අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා  ගෙන ඇති පියවර කවරේද;

  (iv)  ඔවුන් ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් මත කිසියම් රැකියා අවස්ථාවක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-23

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ළමුන් සඳහා නේවාසික පහසුකම් සපයන ළමා නිවාස වර්ගය අනුව එකී වයස් සීමාවද වෙනස් වේ. ඒ අනුව රජය යටතේ පාලනය වන රජයේ භාර ගැනීමේ ළමා නිවාසවලට ඇතුළු කරනු ලබන්නේ වයස අවුරුදු 0 - 5 දක්වා ළමුන් වේ. ඔවුන් අවුරදු 05න් පසුව සමාජගත කිරීම කරනු ලබයි. නැතහොත් වෙනත් ළමා නිවාසයකට මාරු කරනු ලැබේ.

                        ස්වේච්ඡා ළමා නිවාසවලට ඇතුළු කරනු ලබන්නේ වයස අවුරුදු 0 - 18 අතර වන ළමුන් වේ. මෙම ළමුන්ගේ පවුල් පසුබිම මත ඔවුන් තාවකාලිකව වසර 03ක කාලයකට ළමා නිවාසවලට ඇතුළු කරනු ඇත. එකී කාල පරිච්ඡේදය තුළදී එම ළමුන්ගේ පවුල් එකී ළමුන් නැවත භාර ගැනීමට සුදුසු මට්ටමකට පත් කර හෝ වෙනත් විකල්ප රැකවරණයක් සලසා ඔවුන් සමාජගත කිරීමට පියවර ගනු ලබයි. එම වසර 3ක කාලය තුළ එසේ දරුවන් නැවත සමාජගත කිරීමට නොහැකි නම් ඔවුන් නේවාසිකව සිටිනු ලබන කාලය දීර්ඝ කරනු ලබයි. කෙසේ වෙතත් අවුරුදු 18න් පසුව ළමුන් සමාජගත කිරීමේ වැඩ පිළිවෙළක් පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවලද අධීක්ෂණය යටතේ ළමා නිවාස විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

(ii) ළමා නිවාසයට ඇතුළු කරනු ලබන ළමුන්ගේ ස්වභාවය මත ඔවුනට විධිමත්, නොවිධිමත් අධ්‍යාපනයක් ලබාදීම සිදු කරනු ලබයි. ඒ අනුව පාසල් යන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමටද, එසේ විධිමත් අධ්‍යාපනයක් ලැබීම සඳහා සුදුසුකම් නොලබන දරුවන් නොවිධිමත් අධ්‍යාපනයට මෙන්ම වෘත්තිය පුහුණුව සඳහාද යොමු කරනු ලබයි.

(iii) ඒ ඒ ළමුන්ගේ පසුබිම මත ඔවුන් ළමා නිවාසවල සිටිනු ලබන කාලය තීරණය කරනු ලැබේ.  නේවාසික කාලය තුළ දී විධිමත් අධ්‍යාපනයක් ලබා දීම (උසස් අධ්‍යාපනයද ඇතුළුව), නොවිධිමත් අධ්‍යාපනයක් ලබා දීම, වෘත්තිය පුහුණුවක් ලබා දීම ආදී ක්‍රියාමාර්ග, එකී දරුවන්ගේ අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් ගනු ලබයි. එමෙන්ම දරුවන් විවිධ රැකියාවන් සඳහා යොමු කිරීම, ස්වයං රැකියා අවස්ථා සකසා දීම සහ ළමුන් විවාහ කර දීම ආදී වැඩ පිළිවෙළවල්ද අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

(iv) ළමුන් ලබා ඇති අධ්‍යාපන මට්ටම අනුව සුදුසු රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීම/යොමු කිරීම ඒ ඒ ළමා නිවාසයන්හි පාලක මණ්ඩලය විසින් කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks