01

E   |     |  

 දිනය: 2014-03-20   පිළිතුර ලබා දී ඇත 

4313/2014: වන අලි උවදුර : පිළියම්

4313/’13

 

ගරු තිස්ස අත්තනායක මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)         (i)       උඩවලව, යාල, විල්පත්තුව, වස්ගමුව, ගල්ගමුව හා අනුරාධපුර ආදී ප්‍රදේශවල ජීවත් වන ජනතාව තවමත් වන අලින්ගේ ප්‍රහාරවලට ලක්වන බවත්;

(ii) වන අලින්ගෙන් සිදුවන උවදුරුවලින් එම ප්‍රදේශවල ජනතාව බේරා ගැනීමේ පිළියමක් ලෙස 2002 වර්ෂයේ සිට විදුලි වැටවල් නඩත්තු කිරීම, වන අලි පලවා හැරීම, දඩයම්කරුවන් හා දඩමස් අලෙවි කරන්නන් නීතිය හමුවට ගෙන ඒම ආදී කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා අනියම් කම්කරුවන් ලෙස පුද්ගලයින් බඳවා ගත් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(ii) හි පරිදි  බඳවා ගෙන ඇති සේවකයින් සංඛ්‍යාව ‍කොපමණද;

(ii) 2013.01.01 දින සිට එම සේවකයින්ගේ සේවය අත්හිටුවා ‍ඇති බැවින් එම ප්‍රදේශවල වන අලින්ගෙන් සිදුවන අනතුරු නැවත වර්ධනය වී ඇති බවත්, රැකියා අහිමි වූ එම පිරිස දැඩි අපහසුතාවයකට පත්වී ඇති බවත් පිළිගන්නේද;

(iii) එසේ නම්, එම සේවකයින්ට නැවත සේවය ලබාදී, ස්ථිර සේවයේ පිහිටුවා, එම ප්‍රදේශවල පවතින වන අලි ගැටලුව විසඳීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-20

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහ ජනතාවට වන අලින්ගෙන් සිදු වන හානි අවම කිරීමට පහත සඳහන් පියවරයන් ගෙන ඇත.             

                         දැනට පවත්නා විදුලි වැට නඩත්තු කිරීම.

                         අලුතින් විදුලි වැට ඉදි කිරීම.

                         දරුණු අලි අල්ලා ඉවත් කිරීම.

                         ජීව වැට හඳුන්වා දීම.

                         වනාන්තර තුළ වන සතුන්ට අවශ්‍ය ජලය හා ආහාර සුලභ කිරීමට පියවර ගැනීම.

2014 අය වැය යෝජනා මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් රුපියල් මිලියන 10ක් බැගින් ලබා දී වන අලි - මිනිස් ගැටුම මැඩලීමට අවශ්‍ය පියවර ගැනීම.

(ii) වන අලි පළවා හැරීම්, වනජීවී අපරාධ කරන අය නීතිය හමුවට පැමිණ වීම ආදී කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරයි.  වනජීවී රක්ෂිත මායිම්වල  විදුලි වැට නඩත්තුව  ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු කළ අතර, ඒ සඳහා අනියම් (තත්කාර්යය)  කම්කරුවන්ද යොදා ගෙන තිබුණි.

(ආ) (i) 58යි.

(ii) වර්තමානයේ විදුලි වැටවල් නඩත්තු කිරීමේ කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී ඇත. මේ වනවිට ඉදිකර ඇති විදුලි වැටවල් සඳහා සිවිල් ආරක්ෂක භටයින් 950ක් පමණ යොදවා ඇත. අනියම් (තත්කාර්යය)  කම්කරුවන්ගේ සේවය අවසන් කිරීම හේතුවෙන් වන අලි අනතුරු වර්ධනය වී ඇති බවට වාර්තා වී නොමැත.

(iii) ඉදිකරන ලද සහ ඉදිකරනු ලබන සියලුම විදුලි වැටවල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන බැවින්, අනියම් (තත්කාර්යය) කම්කරුවන්ගේ සේවය අවශ්‍ය නොවන බව කාරුණිකව දන්වමි. 

තවද, වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ඉහත අනියම්  (තත්කාර්යය) කම්කරුවන් විසින් සිදු නොකළ අතර,  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය විසින් දඩයම්කරුවන් හා දඩමස් අලෙවි කරන්නන් නීතිය හමුවට ගෙන ඒම හා දඩයම් පාලන කටයුතු සිදු කරගෙන යනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks