01

E   |     |  

 දිනය: 2014-01-24   පිළිතුර ලබා දී ඇත 

3384/2014: වනජීවි සංරක්ෂණය: පියවර

3384/’12

 

ගරු පී. හැරිසන් මහතා,—  වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       1950 වර්ෂයෙන් පසු මෙරට සිදු කළ අලි සංගණන සංඛ්‍යාව, ඒවා පැවැත්වූ වර්ෂයන් සහ එම එක් එක් සංගණනය පිළිබඳ තොරතුරු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)        (i)       2011 වර්ෂයේ සිදු කළ අලි සංගණනයට වැය කළ මුදල කොපමණද;

(ii) එහි වාර්තාව ඉදිරිපත් කරන්නේද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) එකී වාර්තාවට අනුව වැඩි වී ඇති අලි ගහනයට සාපේක්ෂව ඔවුන් රැකබලා ගැනීමට ‍ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

‍(ඇ) (i) විදේශීය සංචාරකයින් සඳහා වන අලි හා වන සතුන් නැරඹීමේ  ස්ථාන සකස් කර තිබේද;

(ii) එම ස්ථාන කවරේද;

(iii) එක් සංචාරකයෙකුගෙන් එම ස්ථානවල දී අයකරනු ලබන මුදල කොපමණද;

(iv) පසුගිය වර්ෂ පහ තුළ එවැනි ස්ථානවලින් උපයාගෙන  රජයට ලබා දී ඇති ආදායම වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනජීවි සංරක්ෂණ ප්‍රවර්ධනයට ලබා දෙන දායකත්වය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(ii) වනාන්තර භූමි අඩුවීම නිසා, තම පැවැත්ම සම්බන්ධයෙන් අනතුරට ලක් වී ඇති වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-24

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව වන අලි පිළිබඳව සංගණනයක් සිදු කර ඇත්තේ 2011 වසරේදී පමණි.

(ආ)         (i)      රුපියල් මිලියන 17.3යි.

              (ii)      ඉදිරිපත් කළ හැකිය.

            (iii)      අදාළ නැත.

             (iv)      ඉහත වාර්තා පදනම් කර ගනිමින් අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තුන් අවුරුදු හා පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඒ අනුව කටයුතු කරමින් පවතී.

(ඇ) (i) ඔව්.

(ii) මින්නේරිය, උඩවලව, යාල, කවුඩුල්ල, මාදුරුඔය, ගල්ඔය, විල්පත්තුව, කුමන, ලාහුගල, වස්ගමුව, අංගම්මැඩිල්ල, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික උද්‍යාන.

(iii) මින්නේරිය, උඩවලව, යාල, විල්පත්තුව

* දේශීය - රු. 60.00යි.

* විදේශීය - ඇ.ඩො. 15යි. - ඒ හා සමාන දේශීය රුපියල්වලින් ආසන්න වශයෙන් රුපියල් 1,950.00ක් (එක්දහස් නවසිය පනහක්)

අනෙකුත් ජාතික උද්‍යාන

* දේශීය -  රු. 40.00යි.

* විදේශීය - ඇ.ඩො. 10යි. - ඒ හා සමාන දේශීය රුපියල්වලින් ආසන්න වශයෙන් රුපියල් 1,300.00ක් (එක්දහස් තුන්සියයක්)

(iv) පසු ගිය වසර 05 තුළ උපයා ගෙන රජයට ලබා දී ඇති ආදායම.

 

       වර්ෂය

    ආදායම                         (රු. මිලියන)

2009

139

2010

257

2011

338

2012

465

2013

624

(ඈ) (i) වාර්ෂික කාර්ය සාධන වාර්තාව මඟින් සෑම වර්ෂයකම පාර්ලිමේන්තුවට වාර්තා කෙරේ.

(ii) වැඩිවන ජනගහනයට සරිලන පරිදි සංවර්ධන කටයුතු සඳහා වන සතුන්ගේ වාසභූමි අහිමි වීම වැළැක්වීම සඳහා විධිමත්ව පහත පරිදි ක්‍රියා කරනු ඇත.

* වාසස්ථාන සුපෝෂණය

* වැව් හා දිය වළවල් සකස් කිරීම

* නව රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම

* නීතිය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනතට අනුව මෙම සංවර්ධන කාර්යයන් කිරීමට ප්‍රථමයෙන් පාරිසරික ඇගයීම - EIA-  සිදු කළ යුතුය. එහිදී යම් සංවර්ධන ක්‍රියාවකදී හානි අවම කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙනු ඇත.

(ඉ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks