01

E   |     |  

 දිනය: 2013-05-07   පිළිතුර ලබා දී ඇත 

3174/2013: ළමයින් දහම් පාසල් අධ්‍යාපනයට හුරු කරවීම : පියවර

3174/’12

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)       (i)       ඉරිදා දිනවල පස්වරු 1.00 දක්වා උපකාරක පන්ති නොපවත්වන ලෙස දැඩි නීති රීති පනවා තිබියදීත් එම කාල සීමාව තුළ දිවයිනේ නොයෙක් ස්ථානවල  කුඩා හා මහා පරිමාණයේ උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් දහම් පාසල්වලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවත්;

  (ii)  දහම් පාසල් දරුවන්ට නිකුත් කරනු ලබන පෙළපොත් අවශ්‍ය ප්‍රමාණයට, කලට වේලාවට නොලැබෙන බවත්;

  (iii)  දහම් පාසල් අවසාන වසර විභාග පැවැත්වීමේ දිනයන් වෙනස් කිරීම දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට  බලපාන බවත්;

  (iv)  දහම් පාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන නිල ඇඳුම් දීමනාව කලට වේලාවට නොලැබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  දරුවන් තවදුරටත් දහම් පාසල් අධ්‍යාපනයට හුරු කරවීම සඳහා ගනු ලබන   පියවර කවරේද;

  (ii)  දහම් පාසල් පෙළපොත්  නිසි පරිදි ලබාදීමට පියවර ගන්නේද;

  (iii)  ඒ සඳහා ඇති බාධක කවරේද;

  (iv)  ගුරුවරුන්ගේ නිල ඇඳුම් දීමනාව කලට වේලාවට ලබාදීමට සහ අවසන් වසර විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කර සිසුන් අපහසුතාවයට පත්වීම වැලැක්වීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) (i) ඉරිදා දිනවල උදය වරුවේ උපකාරක පන්ති පැවැත්වීම සඳහා දැඩි නීති පනවා නැත. පළාත් සභා හා පළාත් සභා ආයතන මඟින් උපකාරක පන්ති පවත්වනු ලබන ආයතන දැනුවත් කර ඇත.

දහම් පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් වාර්තා වී නැත.

(ii) පෙළ පොත් බෙදා හැරීමේ කිසිදු ප්‍රමාදයක් නැත. සමහර අවස්ථාවල පමණක් පරිපාලනමය ගැටලු මතු වූ බව පිළිගනිමි.

(iii) දහම් පාසල් අවසාන වසර විභාග  පැවැත්වීම කෙරෙනුයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟිනි. අත්‍යවශ්‍ය කරුණක් ඇතොත් මිස දින වකවානු වෙනස්වීම කරනු නොලැබේ.

(iv) දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දීමනා ලබා දෙනු නොලැබේ.

(ආ) (i)  දරුවන් තවදුරටත් දහම් පාසල් අධ්‍යාපනයට නැඹුරු කරවීම සඳහා

01. දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් ගොඩනැඟිලි, ඩෙස්ක්, පුටු හා උපකරණ ලබා ගැනීමට මූල්‍යාධාර ලබා දීම.

02. පෙළ පොත් ගුණාත්මක බවින් වැඩිදියුණු කිරීම.

03. ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ලබා දීම.

04. ගුරුවරුන් සඳහා පුස්තකාල දීමනා ලබා දීම.

05. විවිධ දැනුම වර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර

ඇගයීමට භාජනය කිරීම.

(සිසු නිපුණතා/ දහම් දැනුම වැඩසටහන්)

    (ii)      ඔව්. එය අමාත්‍යාංශයේ වගකීමකි.

    (iii)     බාධක නොමැත.

     (iv)    (අ) (iii) හා (අ) (iv) අදාළ වේ.

(ඈ)       අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks