01

E   |     |  

 දිනය: 2023-12-07   පිළිතුර ලබා දී ඇත 

3580/2023: පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු: ක්‍රියා මාර්ග නොගැනීම

3580/2023

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      (i)       ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය සිදුවීමට ආසන්න දිනකදී, එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුණු දිනය කවරේද;

           (ii)      එම බුද්ධි තොරතුරු යොමු කරන ලද රජයේ ආයතන හා නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම තොරතුරු ලබා දීමෙන් පසු, අදාළ අංශ විසින් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

  (iv) බුද්ධි අංශ මඟින් ලබා දෙන ලද තොරතුරු වෙත නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන තොරතුරු හා අදාළ නිලධාරින්ගේ නම් කවරේද; 

(v) එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට ගෙන ඇති හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2023-12-07

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019.04.04, 2019.04.18, 2019.04.20 හා 2019.04.21 යන දිනයන්.

              (ii)      රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරින් වෙත අදාළ බුද්ධි තොරතුරු යොමුකර ඇත.

                          2019.04.07 දින S 1612/2019 දරන ලිපිය මඟින් 2019.04.04 දින විදේශ බුද්ධි ආයතනයක් වෙතින් ලබා දුන් බුද්ධි තොරතුරු දැන ගැනීම හා උපදෙස් පතා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත ලිඛිතව යොමුකර ඇත.

2019.04.04 දින විදේශ බුද්ධි ආයතනයකින් ලද තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රහාරය පිළිබඳ තොරතුරු 2019.04.09 දින අංක S 1612/2019 දරන ලිපිය මඟින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත.

2019.04.18 දින අංක S 1758/2019 දරන ලිපිය මඟින් 2019.04.16 දින තාලංකුඩා ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම, සහරාන්ගේ ජාලයට සම්බන්ධිතයන් විසින් යම් පිපිරීමක් සිදු කිරීමට පෙර සිදු කරන ලද පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමක් බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ලිඛිතව දැනුවත් කර ඇත.

2019.04.19 දින අංක S 1758/2019 දරන ලිපිය මඟින් තාලංකුඩා යතුරු පැදිය පුපුරුවා හැරීම සම්බන්ධ වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමඟ සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත.

2019.04.20 දින අංක S 1758/2019 දරන ලිපිය මඟින් සහරාන් ගැවසෙන ප්‍රදේශ සහ ඔවුන්ගේ ජාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වැඩිදුර වාර්තාවක් මඟින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත.

2019.04.20 දින WhatsApp text පණිවුඩ මඟින් 2019.04.21 දින හෝ එම දිනට පෙර ඕනෑම වේලාවකදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යෑම සඳහා කරන ප්‍රහාරයක් - Istishhad - දියත් කිරීමේ සූදානමක් පවතින බවටත්, ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අත්හදා බැලීමක් 2019.04.16 දින තාලංකුඩාහිදී සිදු කළ බවටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා දැනුවත් කර ඇත.

2019.04.21 දින WhatsApp පණිවුඩයක් මඟින් ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා දැනුවත් කර ඇත.

(iii) ප්‍රහාරයක් සිදු වන බවට තොරතුරු ලබා දීමෙන් පසු එම තොරතුරු මත ක්‍රියා කිරීමට වග කිවයුතු නිලධාරින් නිසි අවධානය යොමු කළේද නැද්ද හා එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේද නැද්ද යන්න මෙතෙක් කරන ලද විමර්ශන හෝ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා මඟින් පිළිබිඹු වේ.   (පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි වෙළුම 1හි 13 වන පරිච්ඡේදය.)

(iv) 2019 අප්‍රේල් මස 21 සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභා අවසන් වාර්තාවේ (සිංහල පරිවර්තනය) වෙළුම් 1හි පිටු අංක 315 සිට 362 දක්වා තොරතුරු අඩංගු වේ.

(v) මේ පිළිබඳ තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශය/ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන මඟින් ලබා ගැනීමට යෝජනා කරමි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks