01

E   |     |  

 දිනය: 2024-01-12   පිළිතුර ලබා දී ඇත 

3425/2024: මහරගම අපේක්ෂා රෝහල: ඖෂධ හිඟය

3425/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සඳහා නියම කරනු ලබන පිළිකා නාශක ඖෂධ එම රෝහලේ නොමැතිවීම හේතුවෙන් ඒවා රෝගීන්ට නිකුත් නොකරන බවත්;

(ii) ඉතා මිල අධික එම ඖෂධ මිලට ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති එම රෝගීන්, පිළිකා රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම රෝහලේ මේ වනවිට හිඟ ඖෂධ වර්ග කවරේද;

(iii) ඖෂධ හිඟය මගහරවා ගෙන, අත්‍යාවශ්‍ය පිළිකා නාශක ඖෂධ, එම රෝහලට ලබා දීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;

 (iv) එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-12

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.

ඊට අදාළ ඇමුණුම් ද මම සභාගත** කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      දෛනිකව සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලැබෙන පරිදි නිකුත් කරනු ලබයි. එමෙන්ම පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් ද සමහර ඖෂධ රෝහල වෙත ලැබෙන අතර ඒවාද රෝගීන් වෙත ලැබෙන පරිදි නිකුත් කරනු ලැබේ.

(ii) ආර්ථික අපහසුතා හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමට නොහැකිව පිළිකා රෝගය උත්සන්න වී ජීවිත අවදානමකට ලක් වූ රෝගීන් මෙතෙක් වාර්තා වී නොමැත.

(ආ) (i) 800-850 අතර ප්‍රමාණයක්.

(ii) සියලුම හිඟ සාමාන්‍ය ඖෂධ ලැයිස්තුව ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

සියලුම හිඟ පිළිකා නාශක ඖෂධ ලැයිස්තුව ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

හිඟ පිළිකා නාශක නාමික ඖෂධ ලැයිස්තුව (ප්‍රමුඛතා ලැයිස්තුවට අයත්) ඇමුණුම 03** මඟින් දක්වා ඇත.

හිඟ පිළිකා නාශක නාමික ඖෂධ ලැයිස්තුව (ප්‍රමුඛතා ලේඛනයට අයත් නොවන) ඇමුණුම 04** මඟින් දක්වා ඇත.

(iii) රටෙහි පවතින මූල්‍යමය අවහිරතාව සැලකිල්ලට ගෙන පිළිකා රෝග විශේෂඥ සංගමයේ උපදෙස් මත පිළිකා රෝග සඳහා ඇස්තමේන්තු ඖෂධ හා නාමික ඖෂධ ලැයිස්තුව සංශෝධනය කරන ලදී.

ඒ අනුව ඉන්දියානු ණය පහසුකම්, ADB සහ AIIB මූල්‍ය පහසුකම් ද යොදා ගනිමින් මෙම පිළිකා ඖෂධ රෝගීන්ට ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත. තවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද පිළිකා නාශක ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරමින් පවතී.

2022.08.13 දින සිට පරිත්‍යාග ඒකකයක් ආරම්භ කර පවත්වා ගෙන යන අතර සතිපතා සකස් කරනු ලබන, හිඟ ඖෂධ ලැයිස්තුවට අදාළව පරිත්‍යාගශීලින්ගෙන් ඖෂධ පරිත්‍යාග භාර ගනු ලැබේ.

(iv) පිළිකා ඖෂධ ආනයනය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර ඉදිරි මසක කාලය තුළදී ඉන්දියානු ණය පහසුකම් යටතේ පිළිකා ඖෂධ 50ක් ලැබීමට නියමිතව පවතී.

(ඇ) පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2024-01-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks