01

E   |     |  

 දිනය: 2021-03-10   පිළිතුර ලබා දී ඇත 

0351/2021: ලංකා සතොස ආයතනය: දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව

----

අසන ලද දිනය

2021-03-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වගකිව යුතු රජයක් ලෙස, සමහර අවස්ථාවල විවිධ හේතූන් මත නිෂ්පාදන ආනයනය කිරීම අනිවාර්ය විය හැක. නිදසුනක් වශයෙන්, අහිතකර කාලගුණය හේතුවෙන් නැතහොත් ශාක හා සත්ව රෝග පැතිරීම නිසා දේශීය නිෂ්පාදනය අඩු විය හැකිය. මෙහිදී දේශීය මිල හදිසියේ වැඩිවීම දේශීය පාරිභෝගිකයන්ට අමතර බරක් වනු ඇත. එවැනි හදිසි හා නොවැළැක්විය හැකි අවස්ථාවකදී, දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා එවැනි භාණ්ඩ ආනයනය කළ හැකිය. මෙය දේශීය නිෂ්පාදකයන් හැකි සෑම ආකාරයකින්ම බලා ගන්නා අතරතුර සිදු කෙරේ.

භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආනයනික වෙළෙඳ භාණ්ඩ සමඟ තරග කිරීමට දේශීය නිෂ්පාදකයාට ඔවුන්ගේ නිෂ්පාදන භාවිතයන් වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය විය හැකි බව දැන සිටිය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම එවැනි තරගකාරිත්වයට මුහුණ දීම සඳහා යතුර වනු ඇත. අනාගතයේදී ඔවුන් ගෝලීය තරගකාරිත්වය අවබෝධ කර ගැනීමට ද එය මඟ පාදනු ඇත.

එසේ අහිතකර බලපෑමක් එල්ල වෙලා තිබුණා, ගරු කථානායකතුමනි. පසුගිය රජය සමයේදී  කිසිදු සීමා කිරීමකින් -බාධා කිරීමකින්- තොරව ආනයනය කිරීම නිසා දේශීය නිෂ්පාදකයන්ට විශාල තර්ජනයක් එල්ල වෙලා තිබුණා. නමුත් අතිගරු ජනාධිපතිතුමා "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බොහොමයක් භාණ්ඩ ආනයනය කිරීම 1977න් පස්සේ පළමුවැනි වතාවට තහනම් කර තිබෙනවා. ඒ තුළින් දේශීය ව්‍යවසායකයන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා, නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රට තුළ උනන්දුවක් ඇති වෙලා තිබෙනවා.  ඒ වෙළෙඳ පොළ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සපුරන්න අවශ්‍ය නිෂ්පාදනයක් තවම ඇතිවෙලා නැහැ. නමුත් අනාගතයේදී එවැනි තත්ත්වයක්  ඇති වෙයි.

(ii) දේශීය නිෂ්පාදකයන් එවැනි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ නම්, ඔවුන්ට උදවු කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන පිහිටුවා ඇත. තරගකාරි නිෂ්පාදන ආනයනය කිරීම එවැනි සෘණාත්මක බලපෑම් ඇති වීමට එකම හේතුව නොවිය හැකිය. අන් අය සමඟ තරග කිරීම සඳහා අපගේ දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම හා ශක්තිමත් කිරීම අවශ්‍ය වන නිසාත්, එය රජයේ දැක්මෙහි ප්‍රධාන පරමාර්ථයක් වන නිසාත්, රජය ඒ සඳහා කටයුතු කරමින් සිටී. අපගේ පාරිභෝගිකයන් සොයන ප්‍රධාන සාධක දෙක වන්නේ මිල සහ ගුණාත්මකභාවයයි. යම් භාණ්ඩයක් නියම මිලකට නිවැරැදි තත්ත්වයේ තිබේ නම්, එවැනි නිෂ්පාදනයක් කිසිසේත් විකිණීම ගැටලුවක් නොවනු ඇත. ඊට හොඳ උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ කිරි පිටි වෙළෙඳ පොළයි. දේශීය නිෂ්පාදන ඉතා වේගයෙන් අළෙවි වන අතර, ආනයනික කිරි පිටි අළෙවි වන්නේ ඉතා සෙමින්ය.

අපි ඉල්ලන ප්‍රමාණය දෙන්නේ නැති එකයි තිබෙන ප්‍රශ්නය. උදාහරණයක් වශයෙන්, අපේ රටේ ඉතිහාසය ගත්තොත් වී අළෙවි කර ගත නොහැකිව ගොවීන් වස බී දිවි නසාගත් යුගයක් තිබුණා. සහතික මිලට රජය බලාපොරොත්තු වන වී ප්‍රමාණය රජයට දෙන්නේ නැහැ. මොකද, ඊට වැඩි මිලකටයි ඔවුන් වී අළෙවි කර ගන්නේ. මේ නිසා සෑම දේශීය නිෂ්පාදනයක්ම රජය නියම කර තිබෙන මිලට විකුණා ගැනීම පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද, ඒ මිලට වඩා වැඩි මිලක් නිෂ්පාදකයාට ලැබෙනවා. කලින් නම්, එසේ වැඩි මිලක් නිෂ්පාදකයාට ලැබුණේ නැහැ.

දැන් අපට තිබෙන ප්‍රශ්නය, අපි ඉල්ලන මිලට ලබා ගන්න නොහැකි වීමයි. දැන්, උඳු තිබෙනවා; කහ තිබෙනවා; බඩඉරිඟු තිබෙනවා.  නියම කර තිබෙන සහතික මිලට වඩා වැඩි මිලටයි ඒවා අළෙවි වන්නේ.

(ආ) (i) ඔව්.

ගරු මන්ත්‍රීතුමනි, එය ඔබතුමාත් දකින්න ඇති. මොකද, ඔබතුමාත් කෙටි කලක් සතොස භාරව කටයුතු කළා නේ. ඒ කාලයේ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළා. ඒ ටෙන්ඩර් ක්‍රමයේදී, සාම්පල් වශයෙන් ටෙන්ඩර් එකේදී පෙන්වන දේ නොවෙයි, අවසානයේ වෙළඳ පො‍ළේ අළෙවි වුණේ. ඒ නිසා අපි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ ක්‍රමවේදය වෙනස් කරලා,  දේශීය නිෂ්පාදකයන් සහ ඍජු ආනයනකරුවන් සමඟ ඉදිරි විනිමය ගිවිසුමක් ඇති කර ගත්තා. "මෙම භාණ්ඩ සපයන්න කැමැති සැපයුම්කරුවෝ, ආනයනකරුවෝ ඉන්නවා නම් මිල ගණන් ඉදිරිපත් කරන්න" කියලා, අභිලාෂය කැඳවීමේ ප්‍රසිද්ධ දැන්වීම් දෙවරක් පුවත් පත්වල පළ කළා. එක්වරක් දැන්වීම් පළ කිරීමෙන් පසු, තව කල් දෙන්න කිව්වාම තවත් දැන්වීම් පළ කරලා නිශ්චිත දිනයකදී වෙළෙඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හා ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සතොස සභාපතිවරු සහ අනෙකුත් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරින් ඉදිරියේ ඒ මිල ගණන් විවෘත කළා. එතකොට එක් එක් ආයතනය විසින් දෙන්න කැමැති මිල ගණන් කිව්වා. උදාහරණයක් වශයෙන් පරිප්පු ගත්තොත්, -එතකොට වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක මිල  රුපියල් 190යි.- එක්කෙනෙක් පරිප්පු කිලෝව රුපියල් 180යි කිව්වා. තව එක්කෙනක් රුපියල් 177යි කිව්වා. තව කෙනෙක් රුපියල් 175යි කිව්වා. පරිප්පු ව්‍යාපාරිකයෝ 10දෙනෙක් විතර ඒ විධියට එක එක මිල ගණන් කිව්වා. ඊට පස්සේ අපි පරිප්පු සැපයුම්කරුවෝ සියලුදෙනා එක මේසයකට ගෙනැල්ලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා මිලක් තීරණය කර ගත්තා. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාස තුනටම සෑම සැපයුම්කරුවෙක්ම පරිප්පු සපයන මිල රුපියල් 160යි. අපි අළෙවි කරන මිල රුපියල් 165යි.  පරිප්පු කිලෝග්‍රෑම් එකකින් සතොස තියා ගන්නේ රුපියල් 5යි; ඒ කියන්නේ, කිලෝග්‍රෑම් එකකින් සියයට 3යි. ඒ නිසා අද වෙළෙඳ පොළේ පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 165ට තිබෙනවා කියලා පෞද්ගලික අංශයේ සමාගම් පවා දැන්වීම් පළ කරනවා, අපි ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා. ඒ වාගේම, කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් සඳහා වෙළෙඳ පොළේ නියම කර තිබෙන මිල රුපියල් 430යි. අපි මිල අභිප්‍රාය කැ‍ඳෙව්වාම රුපියල් 30ක් අඩුවෙන් රුපියල් 400ට ආවා. දැන් අපේ මුළු වෙළෙඳ පොළේම කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් අළෙවි වන්නේ රුපියල් 400ටයි. ග්‍රෑම් 400ක කිරි පිටි පැකට් එකක උපරිම මිල  රුපියල් 385ක් ලෙසයි නියම කර තිබෙන්නේ. අපේ ගිවිසුම අනුව ඇවිල්ලා තිබෙන ගණන රුපියල් 355යි. මම හිතනවා, මෙය  ඉදිරියටත් කවර රජයක් යටතේ වුණත් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය ක්‍රමයක් කියලා. ඉදිරි විනිමය ගිවිසුම් - Forward Exchange Agreements - යටතේ භාණ්ඩ ගැනීම හරහා ටෙන්ඩර් ක්‍රමයේදී ඇති වන වංචා, දූෂණ, අක්‍රමිකතා සියල්ල නැති වෙලා  විනිවිදභාවයකින් යුතුව,  සියලු දෙනා ඉදිරියේ ප්‍රසිද්ධියේ මිල තීරණය වීමක් සිදු වනවා.

(ii) සීමාසහිත ලංකා සතොස ආයතනයට අළෙවි ද්‍රව්‍ය ලබා ගැනීමේදී දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ ක්‍රමවේදය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

 

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

 

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks