01

E   |     |  

 දිනය: 2019-09-06   පිළිතුර ලබා දී ඇත 

0978/2019: ගලේවල පොලිස් ස්ථානය පිහිටි ගොඩනැඟිල්ල සහ භූමිය: හිමිකරුවන්ට පැවරීම

978/’19

ගරු ඉෂාක් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල නගරයේ පිහිටා ඇති පොලිස් ස්ථානය පවත්වා ගෙන යන්නේ  දැනට වසර 40කට පමණ පෙර පොලිස් දෙපාර්තමේන්තුව විසින් කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක බවත්;

(ii) එම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ  ගලේවෙල, නබඩගහවත්ත, මස්ජිදුල් පලාහ් නමැති මුස්ලිම් පල්ලිය සතු ඉඩමක බවත්;

(iii) මෙම ගොඩනැගිල්ල සහිත ඉඩම එම මුස්ලිම් පල්ලිය සතු එකම දේපළ  බවත්;

  (iv) එම දේපළ  පල්ලිය වෙත ආපසු ලබා ගැනීමට පල්ලියේ පූජකතුමන්ලා විසින් වරින්වර පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇතත්, මෙතෙක් එම ඉල්ලීම් ඉටු වී නොමැති බවත්;

(v) මෙයට විකල්පයක් ලෙස පොලිස් ස්ථානය ඉදිකිරිම සඳහා ගලේවෙල නගරයේ, පත්කොලගොල්ල පාරේ, අක්කර එකහමාරක ඉඩමක් වෙන්කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ ඉඩමක් වෙන් කර තිබියදීත්, පොලිස් ස්ථානය එම ඉඩමේ ඉදිකිරීමට කටයුතු නොකරන්නේ මන්ද;

(ii) ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කර මෙම පොලිස් ස්ථානය පිහිටි භූමිය සහ ගොඩනැගිල්ල මුස්ලිම් පල්ලියට ලබාදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඔව්.

              (ii)      පල්ලියේ දායකයින්ගේ දරුවන්ට අරාබි භාෂාව ඉගැන්වීමට පාසලක් පවත්වාගෙන යාම සඳහා ඉඩමේ මුල් අයිතිකරු වන හමීඩ් ලෙබ්බේ හාජියාර් යන අය විසින් පරිත්‍යාගයක් වශයෙන් ඉඩමේ භාරකාරිත්වය නබඩගහවත්ත මුස්ලිම් දේවස්ථානයට පවරා ඇති බවක් දැනගැනීමට ඇත.

              (iii)      නැත.

                        මුස්ලිම් පල්ලිය වෙනත් ඉඩමක පිහිටා ඇත.

              (iv)      මෙම ඉඩම නැවත ලබාදෙන ලෙස පල්ලියේ භාරකාර මණ්ඩලය විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. නමුත්, පොලිස් ස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ‍ඉඩමේ මුල් අයිතිකරුගේ පුතා වන අබ්දුල් හමීඩ් මොහොමඩ් ලෙබ්බේ යන අය සමඟ ගිවිසුමක් අත්සන් කර, කුලී මුදල් ගෙවන ලදී. ඔහු 2018.04.30 දින මියගිය අතර, ඉන් පසුව ඔහුගේ වැඩිමහල් පුතා වන මොහොමඩ් මන්සූර් අහමඩ් රිස්වි යන අය සමඟ ගිවිසුම් අත්සන් කර කුලී මුදල් ගෙවනු ලැබේ.

(v) ඔව්.

(ආ) (i) නව පොලිස් ස්ථානය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.

(ii) නව පොලිස් ස්ථානය ස්ථාපිත කළ වහාම, ගොඩනැඟිල්ල සහිත භූමිය නිදහස් කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-09-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks