01

E   |     |  

 දිනය: 2019-07-11   පිළිතුර ලබා දී ඇත 

0607/2019: සූර්යබල සංග්‍රාමය වැඩසටහන: විස්තර

607/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ශ්‍රී ලංකාවේ,

              (i)      දෛනික විදුලි ඒකක නිෂ්පාදනය කොපමණද;

             (ii)        දෛනික විදුලි ඒකක ඉල්ලුම දිවා, රාත්‍රී වශයෙන් කොපමණද;

           (iii)      දිනකට, පෞද්ගලික අංශයේ විදුලි ඒකක දායකත්වය;

(iv) දිනකට, පුනර්ජනනීය බලශක්ති මඟින් නිපදවන විදුලි ඒකක සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) සූර්යබල සංග්‍රාමය වැඩසටහනෙහි,

(i) මූලික අරමුණු කවරේද;

(ii) එහි ප්‍රතිලාභ කවරේද;

(iii) ඔබ අමාත්‍යාංශයේ කාර්යභාරය කවරේද;

(iv) සූර්යබල ව්‍යාපෘති ඉටුකරන ලියාපදිංචි ආයතන කවරේද;

(v) ඉහත ආයතන ලියාපදිංචි කිරීම සඳහා සලකා බලන ප්‍රමිතීන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) ශ්‍රී ලංකාව දූපතක් වන බැවින්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස මුහුදු රැළි උපයෝගී කරගැනීමේ අවස්ථාවක් තිබියදීත්, අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු උනන්දුවක් නොදක්වන බව පිළිගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-11

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ශ්‍රී ලංකාවේ දෛනික විදුලි උත්පාදනයේ සාමාන්‍ය

2018 වර්ෂයේ දී කිලෝවොට් පැය 43,610,000 වේ. (ඇමුණුම 01-A)

2019 කිලෝවොට් පැය (ජනවාරි සිට මාර්තු දක්වා) කිලෝවොට් පැය 45,131,000 (ඇමුණුම 01 - B)

(ii) එය ස්ථිර අගයක් නොවේ. එය විචලනය වේ. 2019 වර්ෂයේ ජනවාරි සිට ජුනි කාල සීමාව තුළ දිවා රාත්‍රී උපරිම විදුලි ඉල්ලුම ඇමුණුම 02හි දක්වා ඇත.

(iii) පෞද්ගලික අංශය විසින් ශ්‍රී ලංකාවේ උත්පාදනය කරනු ලබන දෛනික විදුලියෙහි සාමාන්‍යය

2018 වර්ෂයේ දී කිලෝවොට් පැය 9,600,000 (ඇමුණුම 01)

2019 වර්ෂයේ දී (ජනවාරි සිට මාර්තු දක්වා) කිලෝවොට් පැය 11,050,000 පමණ වේ. (ඇමුණුම 01-B)

(iv) පුනර්ජනනීය බලශක්ති මඟින් දෛනික උත්පාදනයේ සාමාන්‍යය

2018 වර්ෂයේ දී 18,990,000 kwh වේ. (ඇමුණුම 01-A)

2019 වර්ෂයේ දී (ජනවාරි සිට මාර්තු දක්වා) 12,249,000 kwh වේ. (ඇමුණුම 01-B)

(ආ) (i) "සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන පියවර 04ක් යටතේ ක්‍රියාත්මක වේ.

අදියර I

2025 වසර වනවිට වහල මත සවිකරන සූර්ය කෝෂ මඟින් මෙගාවොට් 1,000 සිට මෙගාවොට් 1,000,000 දක්වා

අදියර II

මෙගාවොට් 01 සහිත සූර්ය බල ව්‍යාපෘති 300 ප්‍රමාණයක් වශයෙන් මෙගාවොට් 300

අදියර III

මෙගාවොට් 10 සහිත සූර්ය බල ව්‍යාපෘති 05 වශයෙන් මෙගාවොට් 50

අදියර IV

මාදුරු ඔය පාවෙන සූර්ය බල උද්‍යානය මඟින් මෙගාවොට් 100

පුනරින් සූර්ය බල උද්‍යානය මඟින් මෙගාවොට් 100x2

මොනරාගල සූර්ය බල උද්‍යානය මඟින් මෙගාවොට් 100 වශයෙන් මෙගාවොට් 400ක් විදුලිබල පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වනවා.

(ii) මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ

i. වසර 2020 වනවිට ලංවිම විදුලි ජාලය වෙත මෙගාවොට් 200 ධාරිතාවක් එකතු කිරීම.

ii. වසර 2025 වන විට මෙගාවොට් 1000ක සූර්යබල ධාරිතාවක් දක්වා වැඩි කිරීම.

iii. අනාගතයේදී මිල අධික තාප විදුලිබල උත්පාදන ජාලය වෙත එකතු කිරීම සීමා කිරීම.

iv. පරිසර හිතකාමී උත්පාදන විකල්ප ප්‍රවර්ධනය.

v. සූර්ය පද්ධති සවිකරනු ලැබූ පාරිභෝගිකයන් වෙත සැලකිය යුතු ආදායමක් ලබා ගැනීමට අවස්ථාවක්.

(iii) බලශක්ති අංශයේ ප්‍රතිපත්ති සම්පාදන සඳහා වගකීම් දරන ප්‍රධාන අමාත්‍යාංශය විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයයි. එබැවින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පුනර්ජනනීය බලශක්ති සංවර්ධන හා අදාළ ගැටලු නිරාකරණය මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යය ලෙස සැලකිය හැකිය. මෙම බලතල ලබා දී ඇත්තේ 2015.09.21 දිනැති අංක 1933/13 සහ 2018.12.28 දිනැති අංක 2103/22 දරන අති විශේෂ ගැසට් පත්‍ර මඟිනි.

(iv) ලියාපදිංචි වී තිබෙන ආයතන 243 සහිත ලැයිස්තුව ඇමුණුම 03 ලෙස අමුණා තිබේ.

(v) "සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සේවාදායකයන් වන ආයතන හෝ පුද්ගලයන් වෙත නිර්දේශිත ලිපි නිකුත් කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් පහත සඳහන් ලේඛන සලකා බලනු ලැබේ.

(i) සමාගම් ලියාපදිංචිය සහ අනෙකුත් විස්තර

(ii) සවිකරනු ලබන මාදිලිය (මොඩල්) (සුර්ය පැනල/අපවර්තක)

(iii) මාදිලිවලට අදාළ පිරිවිතර

(iv) ප්‍රමිතියට අනුව උපකරණ පරීක්ෂාව ශ්‍රී ලංකාවේ සිදු කිරීමට පහසුකම් නොමැති බැවින් ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර විසින් නිකුත් කරන ලද පරීක්ෂණ සහතික (සහතික කරනු ලබන ආයතනය - TUV/SAA/SGS යනාදී වශයෙන්)

සූර්ය පැනල සඳහා - IEC (IEC61730, IEC61215, IEC61701, IEC627)

(v) ජාතික ජාලය සහ අනෙකුත් පිරිවිතර සම්බන්ධ කිරීමට අපවර්තකයට ඇති හැකියාව - අපවර්තක සඳහා IEC/IEEE/VDE (සහතික කරනු ලබන ආයතනය TUV/SAA/SGS/ යනාදී වශයෙන්)

(vi) මව් සමාගමේ නිර්දේශිත ලිපි

(vii) තෝරාගත් මාදිලි සඳහා (IEEE1547) මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු පීඨයේ පරීක්ෂණ සහතිකය

(viii) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව සූර්යබල පද්ධති සහ උපකරණ සඳහා ප්‍රමිති 17ක් පමණ හඳුන්වා දී ඇත.

පහත සඳහන් ආයතනවල නිලධාරින්ගෙන් යුත් ක්‍රියාකාරී තාක්ෂණික කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර, මෙම කමිටුව හරහා නිර්දේශ නිකුත් කිරීමට පියවර ගනු ලැබේ.

(i) මොරටුව විශ්වවිද්‍යාලය

(ii) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම

(iii) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

(iv) ලංකා විදුලිබල මණ්ඩලය

(v) ලංකා විදුලි පුද්ගලික සමාගම

(vi) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

(vii) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

(viii) ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

(ඇ) නැත. ප්‍රතික්ෂේප කරමි.

(ඈ) ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සමුද්‍ර තරංග සලකනු ලැබේ. එය ලංකා විදුලිබල මණ්ඩලයේ 2020-2039 සඳහා වන දිගුකාලීන උත්පාදන සැලැස්මේ කෙටුම්පතෙහි 5.4.7 වගන්තිය යටතේ වෙනත් පුනර්ජනනීය ප්‍රභවයක් ලෙස හඳුන්වා දෙනු ලැබේ.

සමුද්‍ර තාප බලශක්ති අනුවර්තනය (OTEC), සමුද්‍ර බලශක්ති (තරංග) අනුවර්තනය, භෞමික තාප බලශක්ති අනුවර්තනය, සම්පීඩිත වායු මූලික බලශක්ති උත්පාදනය, ජීව වායු බලශක්ති උත්පාදනය සහ සුළඟින් සමන්විත බලශක්ති මාරුව (energy shifting) හා දෙමුහුන් පද්ධතිය සූර්ය PV සහ බලශක්ති ගබඩා කිරීම ආදී අනෙකුත් ගබඩා කිරීමේ යෙදවුම් යනාදී නව පුනර්ජනනීය තාක්ෂණික යෙදවුම් සංවර්ධනය කිරීම සඳහා 2019.01.30 දින ජාත්‍යන්තර යෝජනා ඉල්ලා සිටිමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතදී ආරම්භ කරන ලද නව පුනර්ජනනීය ප්‍රභව සංවර්ධනය කිරීම අරඹා ඇත. මෙම ආරම්භය විදේශික (exotic) බලශක්ති සංවර්ධනය ලෙස නම් කර ඇති අතර, දේශීය පුනර්ජනනීය බලශක්ති සම්පත සංවර්ධනය කරන අතරම, නව තාක්ෂණික අත් දැකීම් ගෙන ඒමට අපේක්ෂා කෙරේ. වාණිජ ගණයේ මෙහෙයුම් සඳහා සංවර්ධනය කරන ලද ඉහත හඳුනාගත් තාක්ෂණය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ග්‍රිඩ් අන්තර් සම්බන්ධතා පහසුකම සපයනු ලැබේ.

සමුද්‍ර තරංග බලශක්ති සංවර්ධනය සඳහා අදාළ ලංසුකරුවන්ගෙන් ලංසු ලේඛන දෙකක් ලබාගෙන ඇති නමුත්, ඉදිරිපත් කිරීමට අවසාන දිනය වන 2019.05.15 දින දක්වා දීර්ඝ කරන ලද කාල සීමාව තුළ ලංසුකරුවන් විසින් කිසිදු ඉදිරිපත් කිරීමක් කර නොතිබුණි.

අදාළ ඇමුණුම් සියල්ල සභාගත* කරමි.

පිළිතුරු දුන් දිනය

2019-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks