01

E   |     |  

 දිනය: 2019-09-03   පිළිතුර ලබා දී ඇත 

0097/2019: රාජ්‍ය සේවයට බඳවා ගැනීම: නිර්ණායක

97/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම්වලට අදාළව ඔබ අමාත්‍යාංශය විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද;

             (ii)      රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණවලදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්ණායක තිබේද;

(iii) එසේ නම්, එම නිර්ණායක සභාගත කරන්නේද;

(iv) ඉහත (ii) හි සඳහන් නිර්ණායක සකසා නොමැති නම්, ඉදිරියේදී එම නිර්නායක සැකසීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ආ) (i) මෑතකදී, සංවර්ධන නිලධාරි තනතුරට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේද;

(ii) එම සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දුන් අයදුම්කාරියන් අපහසුතාවයට පත්වන ආකාරයේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ ප්‍රශ්න හා  විෂය පථයට පරිබාහිර ප්‍රශ්න අසා ඇති බව දන්නේද;

(iii) එසේ නම්, එම තත්ත්වයන් සිදුවී ඇති ස්ථාන කවරේද;

 

(iv) අදාළ අයදුම්කාරියන්ගේ මානුෂීය අයිතීන් කඩකිරීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (I)      2015 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම්වලට අදාළව මෙම අමාත්‍යාංශය විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව 86කි.

                        ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය                                 05

                        ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය                06

                        ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය                01

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය 03

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය 18

ශ්‍රී ලංකා පරිපාලන සේවය, ඒකාබද්ධ සේවය 51

(සංවර්ධන ‍නිලධාරි සේවය හැර)

සංවර්ධන නිලධාරි සේවය 02

එකතුව 86

සංවර්ධන නිලධාරි සේවයට අදාළව,

" උපාධිධාරි අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අවස්ථාව නොලද උපාධිධාරින්ගේ පත්වීම පිළිබඳ ගැටලු සඳහා විසඳුම් ලබාදීම" මැයෙන් අංක අමප/15/0906/610/013-1 හා 2015 ජුනි 24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව විවිධ හේතූන් මත අභ්‍යාසලාභි පුහුණුව සඳහා බඳවා නොගන්නා ලද පිරිස අතරින් අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණයක් මඟින් 2016.01.13 දින සිට උපාධිධාරි අභ්‍යාසලාභි පුහුණුව සඳහා බඳවා ගන්නා ලදී. එලෙස බඳවා ගත් උපාධිධාරින් අතරින් එක් වසරක පුහුණුව සාර්ථකව නිම කරන ලද 1912ක් සඳහා සංවර්ධන නිලධාරි සේවයේ පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

තවද, "පුනරුත්ථාපනය වූ උපාධිධාරින්ට උපාධිධාරි රැකියා ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ රැකියා ලබාදීම"  මැයෙන් අංක අමප/16/1104/734/015 හා 2016 ජුලි 26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන නිලධාරි කමිටුවක් මඟින් ලබා ගත් තීරණ ප්‍රකාරව නියමිත කාලය තුළ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශවීමේ වරම් ලබා ගැනීමට නොහැකිව 2009 වර්ෂයේදී සිවිල් ගැටුම් අවසන් වීමෙන් පසුව පුනරුත්ථාපනය කරන ලද සිසුහු සමාජගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ උපාධි සම්පූර්ණ කරන ලද උපාධිධාරින් 23දෙනෙකු 2017.08.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අභ්‍යාසලාභි පුහුණුව සඳහා බඳවා ගන්නා ලද අතර, එක් වසරක පුහුණු කාලය අවසන් වූ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් වෙතද සංවර්ධන නිලධාරි සේවයේ පත්වීම් ලිපි නිකුත් කරන ලදී. (ඇමුණුම 01 සිට 03* දක්වා) 

(II) ඔව්.

(III) අංක 15/89/30 හා 2009.02.20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ පත්කිරීම් සම්බන්ධ පොදු කොන්දේසි යටතේ සඳහන් 69 සිට 82 දක්වා වූ වගන්ති අතරෙහි සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ක්‍රියා කළ යුතු ආකාරය දක්වා ඇත. (ඇමුණුම 04*)

එම කාර්ය පටිපාටික රීති අනුව ඉහත එක් එක් සේවාවවන්ට අදාළ සේවා ව්‍යවස්ථා හා ගැසට් නිවේදන අනුව කටයුතු කරනු ලබයි.

(IV) අදාළ නොවේ.

(ආ) (I) ඉහත (අ) හි සඳහන් 2016, 2017 වර්ෂවල සංවර්ධන නිලධාරි තනතුරට අදාළ බඳවා ගැනීම්වලට අමතරව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සංවර්ධන නිලධාරි තනතුරට බඳවා ගැනීම සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ මෙතෙක් පවත්වා නොමැත.

(II) අදාළ නොවේ.

(III) අදාළ නොවේ.

(IV) අදාළ නොවේ.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks