2025-09-02
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධනය සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බැලීම සිදුකෙරිණි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.
මේ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ කාර්ය සාධන වාර්තාව සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තාව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ 2023 වසරට අදාළ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2021, 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා, බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ 2021/2022 සහ 2022/2023 වසර සඳහා වාර්ෂික වාර්තා හා ජාතික ලුණු සමාගමේ 2021/2022 සහ 2022/2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා හා ගිණුම් මෙසේ සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදීම සිදුවිය.
මෙහිදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු වූ අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය පෙන්වා දුන්නේ පෙර සිට පැවතෙන ක්‍රමවේදය අනුව ආයෝජකයන්ට ඉඩම් ලබාදීම ඇතුළු ගැටලු රැසක් පවතින බවයි. මේ අනුව නව කර්මාන්ත සඳහා ආයෝජකයෙක්හට ඉඩමක් ලබාදීමට වසර 4කට වැඩි කාලයක් ගතවන බව ඇය පෙන්වා දුන්නාය. අන්තර්ජාතික සංකල්ප අනුව සාමාන්‍යයෙන් රටක භූමි ප්‍රමාණයෙන් 3%ක් කර්මාන්ත සඳහා වෙන් වුවද ශ්‍රී ලංකාවේ මෙම අගය 0.01%ක් බව ද ලේකම්වරිය පැවසුවාය.
මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු නිසා ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිවයිනපුරා පිහිටා ඇති කර්මාන්තවලට ගැළපෙන ඉඩම් අක්කර 50000ක් වෙන් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කොට ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.
මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ ව මෙහිදී අවධානය යොමුවිය. මෙරට අපනයනය ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා පවතින එකම ආයතනය මෙය බවත් ඇඟලුම්, තේ, රබර්, කුළුබඩු, තොරතුරු තාක්ෂණික, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු ක්ෂේත්‍රවලට අදාළ ඉදිරි වසර 5 ට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. මෙරට අපනයනයන වැඩිම ප්‍රමාණයක් සිදුකරන ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය මනා ලෙස කළමනාකරණය කර ගනිමින් ඊට මුහුණ දීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් 2023 වසර වන විට ඇ.ඩො බිලියන 15 කට ආසන්න අපනයන ආදායම 2028 වසර වන විට ඇ.ඩො බිලියන 28 දක්වා වැඩිකිරීමේ ඉලක්කයක් සහිතව කටයුතු කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.
එසේම ජාතික ලුණු සමාගමේ නිෂ්පාදන කටයුතු ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව සිදුකරන බව නිලධාරීහු පැවසූහ. දේශගුණික තත්ත්වයන්වල වෙනස නිසා පසුගිය කාලයේ ස්වභාවික ලුණු නිෂ්පාදනය අඩුවීමක් සිදුවූ බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව ස්වභාවික ක්‍රියාවලිය වෙනුවට නවීන තාක්ෂණයෙන් කෘතිමව ලුණු නිෂ්පාදනය කිරීමේ ලේවායක් අලිමංකඩ ප්‍රදේශයේ සෑදිමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. ජාතික ලුණු සමාගමේ මෙම වසරේ ඉලක්ක අදායම රු.බිලියන 1ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 50%ක වැඩිවීමක් බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
එසේම බීසීසී ලංකා ලිමිටඩ් ආයතනය උසස්ම තත්ත්වයේ පොල්තෙල් නිෂ්පාදනය කරන වසර 192ක් පැරණි ආයතනයක් වුවද තත්ත්ව සහතික ලබාගෙන නොතිබූ බවත් එහි වත්මන් සභාපතිවරයා කාරක සභාවට පැවසීය. මෙම තත්වය හමුවේ අපනයන අවස්ථා බොහෝමයක් අහිමිවී ඇති බවත් මේ අනුව SLS, ISO ඇතුළු තත්ත්ව සහතික ලබා ගැනීමට කඩිනම් පියවර ආරම්භ කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, සිවඥානම් ශ්‍රීතරන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, කන්දසාමි ප්‍රභූ, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ තිළිණ සමරකෝන් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.
2026-07-08
රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවේදී ඉහත තීරණය ගනු ලැබීය. ඒ අනුව, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 හා 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් කාරක සභාව විසින් සලකා බලන ලදී. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගිවී සිටියහ.ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන 2026 අයවැය යෝජනාව පරිදි මෙරටට ආනයනය කරන භාණ්ඩ මත ක්‍රියාත්මකව පැවතී පැවතී 0%, 15% සහ 20% වන රේගු ආනයන බදු අනුපාතයන් 0%, 10%, 20% සහ 30% ලෙස කාණ්ඩ හතරක් වන පරිදි 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම මේ අනුව සිදුවේ. මෙම සංශෝධන හුදෙක් බදු අනුපාත වෙනස් කිරීමක් නොව, ඉදිරි දශකය සඳහා රටේ වෙළෙඳ හා ආයෝජන පරිසරය හැඩගස්වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. විද්‍යාත්මක හා පුරෝකථනය කළ හැකි තීරුබදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බව නිලධාරීහු පැහැදිලි කළහ.මෙම ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික වර්ගීකරණය (BEC Revision 5) පදනම් කරගත් නව සිව්-වැදෑරුම් තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර, එමඟින් HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතය. ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ, සංවේදී අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කෙරෙන අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආදායම් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබාදීමේ අරමුණින් ටයිල් සඳහා දැනට පවතින 85-90% ඉහළ ඵලදායී බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය විය. එමඟින් ඉදිකිරීම් පිරිවැය අඩුවී නිවාස හා යටිතල පහසුකම් ආයෝජන සඳහා ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.දේශීය කර්මාන්තවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව ජාතික උප-බෙදුම් හඳුන්වාදීමට ද යෝජනා කර තිබේ.තවද, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර සරල තීරු බදු ක්‍රමයක් කරා ගමන් කිරීම රජයේ ඉලක්කය බවද නිලධාරීහු පෙන්වා දුන්හ. බදු ලිහිල් කිරීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම බදු ප්‍රතිසංස්කරණ මඟින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 සිට බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වනු ඇති බවද සඳහන් විය. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, රබර් නිෂ්පාදන, ඖෂධ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම සඳහා මෙම ප්‍රතිපත්තිය වැදගත් පදනමක් වනු ඇතැයි ද ප්‍රකාශ විණි.එමෙන්ම, වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳවද කාරක සභාව දැඩි අවධානය යොමු කළේය. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සතු වෙළෙඳ දත්ත 2021 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැති බව සභාපතිවරයාගේ අවධානයට ලක් වූ අතර, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය සියලු වෙළෙඳ දත්ත සහ අදාළ තොරතුරු සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මෙම ගැසට් නිවේදන අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට ගැනීමට නියමිතය.ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-07-08
වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව 177, 170 සහ 190 යන මාර්ග අංකයන්හි ධාවනය වන බස් රථවලට අදාළව, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ලෙස පෙර පැවති කාණ්ඩ හතරෙන් අර්ධ සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා කාණ්ඩ දෙක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අර්ධ සුඛෝපභෝගී සේවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බවත් ඊට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමට එකම සූත්‍රයක් භාවිතා කිරීම සාධාරණ නොවන බැවින් දුර ගමන් සේවා සඳහා දැරීමට සිදුවන වැඩි පිරිවැය සැලකිල්ලට ගෙන දුර ගමන් බස් ගාස්තු තීරණය කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. බස් කර්මාන්තය රැක ගැනීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය. ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය. තෙල් මිල අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අනෙකුත් පිරිවැය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ. මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි සහ යතුරු පැදි සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, මගී ජනතාවට ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධ පැමිණිලි ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවිය. එසේම ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවලට අදාළව ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.තවද, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී කාරක සභාවේ එකඟත්වය පළවිය. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දුන් සහන කාලය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් එම සහන කාලය 2026.03.20 වැනි දිනයෙන් ආරම්භ වී 2026.06.19 වැනි දිනයෙන් අවසාන වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම නියෝග ප්‍රකාශයට පත්කර ඇත.නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.
2026-07-07
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට යෝජිත ප්‍රතිපාදන පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.ඒ, එම උපදේශක කාරක සභාව එහි සභාපති, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී, ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ එළඹ ඇති වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. විදේශ වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන බවත් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.එමෙන්ම, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා රැසක් කාරක සභාවේ අවධානයට යොමු කරන ලදී.මෙම රැස්වීමට විදේශ කටයුතු හා විදේශ රැකියා ගරු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර , සංචාරක ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරු සහ කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.
2026-07-06
2025 වසරේ සහ 2026 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, රාජ්‍ය ආදායම් රැස් කිරීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, රාජ්‍ය ණය තත්ත්වය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විමසා බලන ලදී. මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, තිළිණ සමරකෝන්, නිමල් පලිහේන, එම්.කේ.එම්. අස්ලම්, අජිත් අගලකඩ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ මාර්ගගත තාක්ෂණය ඔස්සේ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.මෙහිදී 2025 වර්ෂයේ රාජ්‍ය ආදායම් රැස් කිරීම ඇස්තමේන්තුගත ඉලක්ක ඉක්මවා වාර්තාගත ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අනාවරණය වූ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ. එමෙන්ම 2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ද ආදායම් රැස් කිරීම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බව එම නිලධාරීහු සඳහන් කළහ.රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන් විශ්‍රාම වැටුප් පද්ධතියේ දිගුකාලීන මූල්‍ය තිරසරභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ යුතු බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම ප්‍රාග්ධන වියදම් යටතේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මුදලක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.තවද රාජ්‍ය ණය කළමනාකරණය, ණය සේවාකරණය, මුදල් රක්ෂිත පවත්වාගෙන යාම සහ පොලී අනුපාතවල බලපෑම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු ඩිජිටල් ස්ටිකර් ව්‍යාපෘතියේ පිරිවැය හා එහි විනිවිදභාවය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, ඉදිරි ටෙන්ඩර් ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් හා පිරිවැය කාර්යක්ෂමතාවය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ 2025-2026 කාල සීමාව තුළ ප්‍රගතියද සාකච්ඡා කෙරිණි. මෙහිදී RAMIS පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම, බදු ගෙවන්නන් සඳහා පහසු වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් හඳුන්වා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා රේගුව සමග පැවති සාකච්ඡාවේදී, රථවාහන සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී දේශ සීමා නීතිරීති උල්ලංඝනය වීම (Cross-border LC violation) නිසා මුදා හැරීමෙන් තොරව තවමත් වරායේ වාහන නවතා ඇති බව හෙළි විය. එබැවින්, ප්‍රමාද ගාස්තු අය කර හෝ සුදුසු පිළියමක් සාකච්ඡා කොට වාහන කඩිනමින් වරාය අංගනයෙන් නිදහස් කළ යුතු බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳ කාරක සභා සාමාජිකයන් සාකච්ඡා කළහ. Electric සහ Hybrid වාහන සඳහා ඒවායේ මිල මත පදනම්ව බදු පැනවීමෙන් (අඩු මිල රථ සඳහා අඩු බදු) රථවාහන මිල සැලකිය යුතු ලෙස වෙනස් වන බවට ද මෙහිදී අදහස් ඉදිරිපත් විය. මේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව, බදු ප්‍රතිපත්ති සඳහා සැලකිල්ලට ගත හැකි බව සාකච්ඡා විය.මෙහිදී රාජ්‍ය ආදායම් වර්ධනය යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළද, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සහ පුනරාවර්තන වියදම් පාලනය කිරීම සඳහා දිගුකාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එමෙන්ම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ ඩිජිටල්කරණය තවදුරටත් ශක්තිමත් කිරීම රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.