පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-09-23
සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි.
නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ.
යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.
ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.
තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු
වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-11-13
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-11-13
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය කරන ලදී.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.
2026-11-12
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, පවතින අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස් වූ අතර, 2026 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදනවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය එහිදී සමාලෝචනයට ලක් විය.මෙහිදී පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීම, පාසල් සිසුන්ගේ සුබසාධන කටයුතු සහ ගුරු අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, විභාග පැවැත්වීමේ කටයුතු, පෙළපොත් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් සැලසීමේ වැදගත්කම ද අවධාරණය විය.තවද, පාසල් සිසුන්ගේ සුබසාධන වැඩසටහන් යටතේ නිල ඇඳුම් බෙදා හැරීම සහ ශිෂ්‍යාධාර ගෙවීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා වූ අතර, ශිෂ්‍යාධාර ගෙවීම් කඩිනම් කිරීම සඳහා නව පරිගණක පද්ධතියක් හඳුන්වාදීම සහ එමගින් සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රයට අදාළ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ක්‍රියාකාරීත්වය හා සංවර්ධන සැලසුම් ද සමාලෝචනයට ලක් විය.මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් සියලුම අදාළ ආයතන තම මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට උපදෙස් ලබා දෙන ලදී. එම වාර්තා නියමිත පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.තවද, වසර අවසානයේ පමණක් නොව වසර මැදදී ද අදාළ ආයතන කැඳවා සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට කාරක සභාව තීරණය කළේය.ඊට අමතරව, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සඳහා 2026 වර්ෂයේදී වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.මෙම අවස්ථාවට කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
2026-11-12
විදුලි වාහන සහ ඒවායේ බැටරි තාක්ෂණය සඳහා අවශ්‍ය නියාමන හා ප්‍රමිති හඳුන්වාදීම, රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම සහ නවෝත්පාදන වාණිජකරණය කිරීම ඇතුළු කරුණු පිළිබඳව විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වියගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වු කාරක සභාවේදී 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව සහ 2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සලකා බැලිණි..මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) සතු විදුලි වාහන සහ බැටරි පරීක්ෂණ පහසුකම් පිළිබඳව සාකච්ඡා වූ අතර, බැටරිවල ධාරිතාව, කල්පැවැත්ම සහ ආයු කාලය ඇතුළු පරාමිතීන් ගණනාවක් පරීක්ෂා කිරීමේ හැකියාව එම ආයතනය සතු බව අනාවරණය විය. එහෙත් මෙරටට ආනයනය කරන විදුලි වාහන, බැටරි, පාලක (Controllers) සහ ආරෝපණ මධ්‍යස්ථාන සඳහා අනිවාර්ය නියාමන හා ප්‍රමිති නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. ඒ අනුව අදාළ ප්‍රමිති සකස් කර ඒවා පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.සාම්ප්‍රදායික වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය, පුහුණු වැඩසටහන් සහ එම වාහනවල ආරක්ෂාවට අදාළ ප්‍රමිති හා නියාමන ක්‍රමවේද සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.පර්යේෂණ හා සංවර්ධන ආයතනවල පැවති මානව සම්පත් හිඟය සහ සුදුසුකම් ලත් ඉංජිනේරුවන් හා පර්යේෂකයන් රඳවා ගැනීම සඳහා සුදුසු වැටුප් හා දීමනා ක්රමවේදයක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම, පවතින අඩුපාඩු අවම කිරීම, පර්යේෂණ ප්‍රතිඵල ඵලදායීව කළමනාකරණය කිරීම සහ සමාන කාර්යයන් සිදු කරන ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද නිලධාරීහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වන අලි තර්ජනය අවම කිරීමේ විදුලි වැට ව්‍යාපෘති, විශ්වවිද්‍යාල ආශ්රිත ඉන්කියුබේෂන් මධ්‍යස්ථාන සහ ඩිජිටල් වේදිකා ඔස්සේ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා විය. ක්‍රියාත්මක කළ විදුලි වැට ව්‍යාපෘති හතරෙන් තුනක් සාර්ථකව පවතින බව ද නිලධාරීන් විසින් කාරක සභාවට දන්වන ලදී තවද, නව නිපැයුම්කරුවන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ නව නිපැයුම් වාණිජකරණය කඩිනම් කිරීම සඳහා 'පෙටි පේටන්ට්' (Petty Patents) ක්‍රමවේදය හඳුන්වාදීම වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ජා කෙරිණි මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ, චතුර ගලප්පත්ති, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks