දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ. මෙසේ තේරීපත්වන මන්ත්‍රීවරයන් සහභාගී වන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි.
පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමි වේ. සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.
අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම සිදුකරනු ලැබේ.
කථානායකවරයා පත්කිරීම
පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත්කළ හැකිය. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ.
මෙහිදී මුලින්ම කථානායකවරයා පත්කර ගත යුතු බව මහලේකම්වරිය විසින් සභාවට දැනුම් දෙනු ලබයි. එවිට යම් මන්ත්‍රීවරයෙක් අසුනින් නැගී සිටියහොත් මහලේකම්වරිය විසින් එම මන්ත්‍රීවරයා දෙසට සියත දිගුකොට අදාළ යෝජනාවට සභාවේ අවධානය යොමු කරවයි. එසේ එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාම යෝජනා තිබේද යන්න මහලේකම්වරිය විසින් සභාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී වෙනත් නාම යෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගැනේ.
මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ.
අනතුරුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. එසේ පත්වන කථානායකවරයා සිය ආසනයේ අසුන් ගැනීමට පෙර තමාව තෝරා පත්කර ගැනීම පිළිබඳ කෙටි ස්තූතියක් සභාව වෙත සිදු කිරීම සම්ප්‍රදායකි. නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සුභාශිංෂණ පිරිනැමෙන අතර අනතුරුව කථානායකවරයා විසින් සිය ස්තුති කථාව සිදුකරනු ලැබේ. සභාවේ අනෙකුත් මන්ත්‍රීවරයන් මන්ත්‍රීවරයෙකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන් අනතුරුවයි.
කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවතී. එම අවස්ථා 02 නම් කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා අවස්ථාවයි.
එම ඡන්ද විමසීමේදී ගණපූර්ණ සීනුව විනාඩි 05 ක් නාද කිරීමෙන් අනතුරුව මහලේකම්වරිය විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබා දෙන අතර මන්ත්‍රීවරයන් ඒ මත ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම සහ සිය අත්සන යෙදිය යුතුවේ. අනතුරුව එම ඡන්ද පත්‍රිකාව කිසිවෙකුට නොපෙනෙන සේ නවා ඡන්ද පෙට්ටියට ඇතුළත් කළ යුතුවේ. ඡන්දයක් පැවැත්වීමේ ආකාරය තීරණය කිරීමේ බලය සහ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිය සම්පූර්ණයෙන් හිමි වන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙතයි. ඡන්දය ගණනය කරනු ලබන්නේ මහලේකම්වරියගේ මේසය (Table of Parliament) මතදී යි. මෙසේ ගණනය කිරීමෙන් අනතුරුව ඡන්ද ප්‍රතිඵලය සභාව වෙත ප්‍රකාශයට පත්කරනු ලැබේ. යම් අවස්ථාවකදී ඡන්ද පත්‍රිකාවක මන්ත්‍රීවරයාගේ අත්සන යොදා නොමැති විටකදී එම ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ.
කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක් අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරඟයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම සිදු කරයි. ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමිකර ගන්නා තැනැත්තා කථානායක ලෙස තේරී පත්වේ. එමෙන්ම මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අවස්ථාවකදී ඉහත ආකාරයට ඡන්ද පවත්වමින් එක් එක් මන්ත්‍රීවරයා ඉවත් කරමින් අවසාන එක් බහුතර ඡන්දලාභියෙක් ලැබෙන තෙක් ඡන්දය පවත්වයි. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙක් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ඔනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ.
යම් අවස්ථාවකදී මන්ත්‍රීවරයන් තිදෙනෙක් ඡන්දයට පෙනී සිටින විට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමාන ඡන්ද ලබා ඇති විට කුසපත් ඇදීම මගින් සමාන මන්ත්‍රීවරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉවත් කිරීමේ බලය මහලේකම්වරියට හිමි වේ. අනතුරුව වැඩි ඡන්ද හිමි අපේක්ෂකයා සහ ඉතිරි වූ අනෙක් අපේක්ෂකයා අතර නැවත ඡන්දයක් පවත්වා කථානායකවරයා තෝරා පත්කර ගැනේ.
මන්ත්‍රීවරයන් දෙදෙනෙකු අතර ඡන්දය පැවැත්වෙන අවස්ථාවකදී අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ඇති විටකදී නැවත ඡන්දය පවත්වයි. නමුත් එම අවස්ථාවේදීත් අපේක්ෂකයන් දෙදෙනා විසින් සමාන ඡන්ද ලබා ඇති විටකදී කුසපත් ඇදීම මගින් කථානායකවරයෙක් තෝරා ගැනීමේ බලය මහ ලේකම්වරිවට හිමිවේ.මෙහිදී කුසපත් ඇදීමේ ක්‍රමවේදය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් මහ ලේකම්වරියට හිමිවේ.
ඡන්දයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රා තබා එක් මාසයක කාලසීමාවක් මහලේකම්වරියගේ භාරයේ තැබිය යුතු අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ලැබෙන නියෝගයක් අනුව ඒවා විනාශ කර ඒ බව නැවත පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය.
පාර්ලිමේන්තුවට තේරී පත්වන සියළු මන්ත්‍රීවරයන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඤාව ලබා දීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛනයේ අත්සන් තැබීම සිදුකළ යුතුය. මෙහිදී කථානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යොදති. මෙම අත්සන් ලේඛනය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛනයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ කථානායකවරයා විසිනි. නියෝජ්‍ය කථානායකවරයා සහ කාරකසභා සභාපතිවරයා සඳහා නාම යෝජනා වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් වෙනත් යෝජනා තිබේදැයි සභාවෙන් විමසනු ලබයි. එසේ නොමැති විටකදී අදාළ යෝජිත මන්ත්‍රීවරයන් තනතුරු සඳහා තේරී පත්වේ. යම් අවස්ථාවකදී ඡන්ද විමසීමක් සිදුකරන්නේ නම් කථානායක තෝරා පත්කරගත් ක්‍රියාපිළිවෙතම අනුගමනය කෙරේ. එහිදී විශේෂත්වය වන්නේ මහලේකම්වරිය වෙනුවට කථානායකවරයා එම ඡන්ද විමසීම සිදුකරනු ලැබීමයි.
ඉහත කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ. මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊළඟට එළඹෙන පාර්ලිමේන්තු දිනයයි.
කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවකදී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තබනු ලැබේ.
2026-09-01
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.
2026-08-28
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 9 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.