පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.
මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්රජාතන්ත්රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.
මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.
එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.
මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.
නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.
අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්රජාතන්ත්රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.
මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.
මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.
එසේම මහ ලේකම්තුමිය ප්රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.
මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-10-23
‘ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා වෙන් කරන ලද රු.මිලියන 25,000 ක ප්‍රතිපාදන මගින් රු.මිලියන 23,000 ක් දිස්ත්‍රික් පදනමින් ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බවත්, ඉතිරි රු.මිලියන 2,000 න් ජාතික මට්ටමින් හඳුනාගනු ලබන මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරෙහි සඳහන් වෙයි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. එම සභාගත කළ පිළිතුරට අනුව, ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ රු.මිලියන 24,221.38 ක ව්‍යාපෘති 15,725 ක් ආරම්භ කර ඇති අතර ඉන් ව්‍යාපෘති 15,316 ක් ජීවනෝපාය සංවර්ධනය යටතේ ද, 273 ක් අධ්‍යාපනය යටතේ ද සහ 136 ක් සෞඛ්‍ය යටතේ ද ක්‍රියාත්මක වෙයි. මෙම සියලුම ව්‍යාපෘති 2026.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඍජුවම අදාළ වන ව්‍යාපෘති හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය මෙන්ම සැපයුම් ජාල සහ ප්‍රවේශය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පාසල් දරුවන් විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් රේඛිය අමාත්‍යාංශ, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා මූල්‍යාධාර හෝ වෙනත් සහනාධාර හෝ ලබා දීම සිදු කරයි. එසේම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ එම පවුල් ඒකක සවිබලගැන්වීමේ අරමුණින් ඔවුන් සඳහා විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ආධාර ලබාදීම, සහනාධාර ලබාදීම, සහ සුබසාධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කෙරෙයි.
2026-10-22
ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්‍ය විද්‍යාත්මක අධ්‍යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්‍රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්‍රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්‍ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
2026-10-22
ශ්‍රී ලංකාවේ වන අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්රිත ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්‍රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්‍රිතව සිදු වෙන බවත් පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සදහන් කරයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු අනාවරණය විය. සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී. විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ. විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.
2026-10-22
සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්‍රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත් අතරට අයත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්තවලට අනුව, සිරකරුවන් 1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද සිටින බව සඳහන් වෙයි.එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks