පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-09-01
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.
කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.
“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.
කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.
සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.
තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.
දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.
සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.
කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.
එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.
2026-10-22
ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්ය විද්‍යාත්මක අධ්‍යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා රෝපණ ද්රව්ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්‍ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
2026-10-22
ශ්‍රී ලංකාවේ වන අලි සංක්රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්රිතව සිදු වෙන බවත් පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සදහන් කරයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු අනාවරණය විය. සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී. විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ. විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.
2026-10-22
සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ ප්රශ්නයකට පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත් අතරට අයත් බව අමාත්යවරයා ප්‍රකාශ කළේය.දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්යා දත්තවලට අනුව, සිරකරුවන් 1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද සිටින බව සඳහන් වෙයි.එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.
2026-10-22
ජලභීතිකා රෝගය වැළඳුණු රෝගීන් සඳහා ප්රතිකාර සහ එන්නත්කරණ කටයුතු වෙනුවෙන් 2025 වර්ෂයේදී රු. 655,824,000 ක මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරකින් අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්යවරයා විසින් ලබාදුන් පිළිතුරේ මේ බව සඳහන් වේ.එම පිළිතුරට අනුව, 2025 වර්ෂයේදී සුනඛයන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගය වැළඳී පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.මේ අතර, 2025 වර්ෂයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා සඳහා වෙන් කර තිබූ මුළු මුදල රු. මිලියන 220 ක් බව ද අමාත්යවරයා පිළිතුරෙහි සඳහන් වෙයි. මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්දන වැඩසටහන සඳහා 2026 වර්ෂයට රු. මිලියන 51 ක මුදලක් වෙන් කර තිබෙන බව ද කියවෙයි. මෙම වැඩසටහන යටතේ සුනඛයන් එන්නත්කරණය, වන්ධ්යාකරණය සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරේ.මෙම වැඩසටහන යටතේ 2026 අගෝස්තු 30 වන විට දිස්ත්‍රික්ක හතරක වීදි සුනඛයන් 5,951 දෙනෙකු වන්ධ්යාකරණයට ලක් කර ඇති අතර, අනෙකුත් දිස්ත්රික්කවලද ජලභීතිකා මර්දන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයාගේ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks