පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-07-12
කොළඹ 02 ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 ක පමණ ඉඩමක් 2019 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව රුපියල් බිලියන 12කට 99 අවුරුද්දකට බදු දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මෙම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ හා අනුමත කළ බදු කොන්දේසිවලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි ඇතුළත් කර ඇති බව හෙළිදරව් විය. කෙසේ වෙතත් අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීති අධ්‍යක්ෂට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා සිදු කර නොමැති බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 09දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව ඩී. ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රූඩ් 2යි පර්චස් 21.4ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රුපියල් මිලියන 330ක අලාභයක් අධිකාරියට දැරීමට සිදුවූ බවද මෙහිදී අනවරණය විය.ඒ අනුව මෙම සිදුවීම් පිළිබඳව විධිමත් වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙහිදී කරුණු දක්වමින් ජාතික විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන තිබෙන බව පෙන්වා දුන්හ. අධිකාරිය සතු අයෝජන ඉඩම්වල වටිනාකම් තක්සේරු කර ඇති ආකාරයද ප්‍රශ්නකාරී බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.පාර්ලිමේන්තු සංකීර්ණය පවතින ඉඩමේ අයිතිය තවමත් නාගරික සංවර්ධන අධිකාරිය සතුවන බව පෙන්වා දුන් විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම ඉඩමේ හිමිකාරිත්වය පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සියලු විස්තර ඇතුලත් සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට සති දෙකක් තුළ යොමු කරන ලෙසට උපදෙස් ලබා දුන්නේය.
කොළඹ අවට ජිවත් වෙන පැල්පත් වාසීන් වෙනුවන් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ රජයේ අරමුදල් මිලියන 48,156 භාවිත කර නිවාස ව්‍යාපෘති 22ක නිවාස එකක 13,602 ක් සම්පුර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය නිමවා ඇත. කෙසේ වෙතත් එම මහල් නිවාස සංකීර්ණ වල නිවාස 66ක් තවමත් හිස්ව පවතින බව විගණ කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්හ. එම හිස්ව පවතින නිවාස වල හැකි ඉක්මනින් අදාළ හිමිකරුවන් පදිංචි කිරීමට පියවර ගන්න බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත් ඉදිකිරීම් අවසන්වී ඇති නිවාස ව්‍යාපෘති වලින් මේ වන විට සහධිපත්‍ය කළමනාකරණ සහතිකය ලබාගෙන ඇත්තේ එක් නිවාස ව්‍යාපෘතියක් සඳහා පමණක් බව විගණ කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්හ. ඒ හේතුවෙන් 2023 හා 2024 වසරේ මැයි දක්වා නිවාස නඩත්තුව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 667.6ක වියමක් දරා ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව නිවාස වල හිමිකාරිත්වය අදාළ පිරිස් වෙත පැවරීමෙන් පසු නිවාස නඩත්තු කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත්වන බව පෙන්වා දුන් එම නිලධාරීහු අදළ නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට නඩත්තු කටයුතු සිදුකරගෙන යාම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්හ.
තවද දෛනිකව කොළඹ නගරට පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය.අධිකාරිය විසින්ම ඉදිකිරීමට යෝජනා කරන ලද රථ ගාල් 2හිම වැඩ 2021 වසරේ අතරමග නවතා දමා තිබු අතර මේ දක්වා රුපියල් මිලියන 230 මුදලක් වියදම් ලෙස දර ඇති බව කාරක සභාව පෙන්වා දෙන ලදී. ඒ අනුව මෙම රථ ගාල් 2 පවතින තත්වයෙන් භාවිතයට ගතහැකි ආකාරයට වැඩ නිමකිරීම සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දයාසිරි ජයසේකර, ගරු නීතිඥ මධුර විතානගේ, ගරු සංජීව එදිරිමාන්න, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-10-05
තාරුණ්ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.ඒ තාරුණ්ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය සැප්. 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. WFD ආයතනයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිද තාරුණ්ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා WFD ආයතනය මඟින් ලබාගත හැකි සහාය, පුහුණු අවස්ථා සහ තරුණ නායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද තරුණ පරම්පරාව දේශපාලන ක්රියාවලියට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ පාලන ක්රියාවලියට සක්රීයව සම්බන්ධ කරගැනීමේ වැදගත්කම පිළිබඳවද පැමිණි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු විය. විශේෂයෙන්ම මැතිවරණවලින් පසුවද තරුණයින් අඛණ්ඩව දේශපාලන හා ප්‍රතිපත්ති සංවාද සමඟ සම්බන්ධ කර තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.එමෙන්ම, තරුණයින් මුහුණ දෙන රැකියා විරහිතභාවය ඇතුළු සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ නායකත්වය සහ ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.
2026-10-05
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමු විය. එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද උක්ත පනතින් පසුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව සඳහන් කළේය. 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී ඇති බැවින්, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව විසින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදී. මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන පරිදි ස්වාධීන අධීක්ෂණ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” (Nothing About Us Without Us) යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම, ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම (reasonable accommodation), රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ පනත් කෙටුම්පත් සම්පාදක අනුකමිටුවේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-10-02
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීමට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක් ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ සහ කොමිෂන් සභා පොදු අරමුදල මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය 971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්යාවක් ප්රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.
2026-10-02
සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී 2003 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු, පනතේ සිංහල සහ ඉංග්රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය සහ ඒ සඳහා මහජන ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා විය.තවද, පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලන ගැටළු විසඳීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලැබිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

