පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ ‘ඉ-ස්වාභිමානී ජාතික ඉ-අන්තර්ගත විශිෂ්ටතා සම්මාන - 2016’ උළෙලේ දී රාජ්ය හා විවෘත දත්ත කාණ්ඩය යටතේ මෙරට විශිෂ්ටතම ඉ-අන්තර්ගත යෙදුමක් ලෙසින් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම යෙදුම (mobile app) තෝරාගන්නා ලදී. එම උත්සවය 2016 ඔක්තෝබර් මස 31 වැනිදා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි. 2016 ජනවාරි මාසයේ දියත් කළ පාර්ලිමේන්තුවේ ජංගම යෙදුම මෙම තරඟයේ දී ජයග්රහණය කළ ප්රථම අවස්ථාව මෙය වේ.
ඉ-ස්වාභිමානී යනු ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරණයේ විශිෂ්ටතා අගයනු වස් ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් 2009 වර්ෂයේ දී ආරම්භ කරන ලද තරඟාවලියකි. මෙහි සම්මාන ලබාදීමේ ක්රියාවලිය ලෝක සමුළු සම්මාන (World Summit Award) තරඟයට සමාන අයුරකින් පැවැත්වේ. තරඟාවලිය විවිධ කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වුණු අතර විනිශ්චය මණ්ඩලයක් (ජූරියක්) මඟින් ජයග්රාහකයින් තෝරාගන්නා ලදී.
විනිශ්චය මණ්ඩලයේ ඇගයීම මතු දැක්වෙන පරිදි වේ: “සාමාන්ය ශ්රී ලාංකික පුරවැසියෙකුට ජංගම තාක්ෂණය වඩාත් හුරුපුරුදු බැවින්, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් සිය වෙබ් අඩවිය මගින් ලබාදුන් දේ අභිවර්ධනය කිරීමක් වශයෙන්, ජංගම යෙදුම තුළින් පවත්නා හිඩැස් කිහිපයක් වඩාත් කාර්යක්ෂම ලෙස යා කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ නිලධාරීන්ට සේවය ලබාදීම සඳහා ලේකම් කාර්යාලයට මෙම යෙදුම ඵලදායී ලෙස යොදාගත හැකිය. මෙම යෙදුමේ ව්යාප්තිය සමඟ බොහෝ විට පාර්ශ්වකරුවන් සුළු පිරිසකට පමණක් සීමා වී තිබූ ව්යවස්ථාදායක කාර්යාවලිය ඇතුළු පාර්ලිමේන්තුවේ ප්රධාන කටයුතු සාමාන්ය පුරවැසියාට වඩාත් විවෘත වී ඇත. මෙහි භාවිතා කිරීමේ පහසුවත් සිත් ගන්නා අංගත් නිසා පාර්ලිමේන්තුවේ කටයුතු එහි නිත්ය භූමිකාවට සහ දෛනික කටයුතුවලට වඩාත් ළං වී තිබේ. ක්රමවත් ලේඛන පද්ධතිය සහ යෙදුම් අන්තර්ගතයේ ත්රෛභාෂා ස්වරූපය විවෘතභාවය හා අන්තර්කරණය තවදුරටත් වැඩිදියුණු කරන බැවින් ද, ප්රධාන ජූරිය විසින් මෙම යෙදුම ජයග්රාහකයෙක් වශයෙන් පිළිගෙන තිබේ.”
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ අධ්යක්ෂ, මහේෂ් පෙරේරා මහතා විසින් ශ්රී ලංකා ටෙලිකොම් සභාපති, කුමාරසිංහ සිරිසේන මහතා සහ ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා අතින් මෙම සම්මානය පිළිගන්නා ලදී.
2026-10-16
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් අද (ඔක්. 16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, ඔක්තෝබර් 20 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. ඔක්තෝබර් 21 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.අනතුරුව, ප.ව. 5.00 ට ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.අනතුරුව, ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-10-15
පේරාදෙණිය රණබිම රාජකීය විද්යාලයීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ගරු නියෝජ්ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගිය ඔක්. 14 වැනිදා පැවැත්විණි. පේරාදෙණිය රණබිම විද්යාලයීය ශිෂ්ය ශිෂ්යාවන් සඳහා පාර්ලිමේන්තු ක්රමවේදය පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන එම විද්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ශිෂ්ය පාර්ලිමේන්තු වැඩසටහන් අනාගත නායකයින් තැනීම සඳහා තෝතැන්නක් බව පැවසුවාය. එසේම නායකත්වය යනු අභරණයක් නොවන බවත්, එය අනෙකාගේ සුඛ විහරණය වෙනුවෙන් ලැබෙන මෙවලමක් බවත් ඇය පැවසුවාය. තවද, සමාජය ඉදිරියට යාමේදී අනාගතයේ උසස් සමාජයක් ගොඩනැගීමේ වගකීම 100% ක්ම තරුණ ප්රජාව සහ දරුවන් සතු වන බව ද නියෝජ්ය කාරක සභා සභාපතිවරිය පෙන්වා දුන් අතර සාම්ප්රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශ ප්රධානී, සහකාර අධ්යක්ෂ (පරිපාලන) චූලා හේරත් මහත්මිය විසින් පාර්ලිමේන්තුව සහ ව්යවස්ථාදායක ක්රියාවලිය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.පේරාදෙණිය රණබිම විද්යාලයීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු වීමෙන් අනතුරුව අග්රාමාත්යවරයා ඇතුළු අමාත්ය මණ්ඩලය හා මන්ත්රී කණ්ඩායම දිවුරුම් දීම සිදු විය. පසුව ශිෂ්ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්යවරුන් විසින් තම අමාත්යාංශ මගින් ක්රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා සහතික පත්ර ලබා දීම ද ආරාධිතයින්ගේ ප්රධානත්වයෙන් සිදු විය.වැඩසටහන අවසන් කරමින් පේරාදෙණිය රණබිම විද්යාලයේ විදුහල්පති එම්. එම්. පෙරේරා මහතා විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ලුතිනල් කර්නල් නදීක දංගොල්ල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
2026-10-15
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්රී පූජෝත්සවය එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්රයේ දී උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය. ශ්රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, සමරනු ලබන මෙම නවරාත්රී පූජෝත්සවය සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය, ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඇතුළු මැති ඇමතිවරයන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරයන් සහභාගී වීමට නියමිතය. භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය දින 9ක් රාත්රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
2026-10-13
වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක් නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව මාසික දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
