පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්රී පූජෝත්සවය එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්රයේ දී උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය. ශ්රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, සමරනු ලබන මෙම නවරාත්රී පූජෝත්සවය සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය, ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඇතුළු මැති ඇමතිවරයන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරයන් සහභාගී වීමට නියමිතය.
භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය දින 9ක් රාත්රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.
ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
2026-10-15
පේරාදෙණිය රණබිම රාජකීය විද්යාලයීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ගරු නියෝජ්ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගිය ඔක්. 14 වැනිදා පැවැත්විණි. පේරාදෙණිය රණබිම විද්යාලයීය ශිෂ්ය ශිෂ්යාවන් සඳහා පාර්ලිමේන්තු ක්රමවේදය පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන එම විද්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ශිෂ්ය පාර්ලිමේන්තු වැඩසටහන් අනාගත නායකයින් තැනීම සඳහා තෝතැන්නක් බව පැවසුවාය. එසේම නායකත්වය යනු අභරණයක් නොවන බවත්, එය අනෙකාගේ සුඛ විහරණය වෙනුවෙන් ලැබෙන මෙවලමක් බවත් ඇය පැවසුවාය. තවද, සමාජය ඉදිරියට යාමේදී අනාගතයේ උසස් සමාජයක් ගොඩනැගීමේ වගකීම 100% ක්ම තරුණ ප්රජාව සහ දරුවන් සතු වන බව ද නියෝජ්ය කාරක සභා සභාපතිවරිය පෙන්වා දුන් අතර සාම්ප්රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශ ප්රධානී, සහකාර අධ්යක්ෂ (පරිපාලන) චූලා හේරත් මහත්මිය විසින් පාර්ලිමේන්තුව සහ ව්යවස්ථාදායක ක්රියාවලිය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.පේරාදෙණිය රණබිම විද්යාලයීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු වීමෙන් අනතුරුව අග්රාමාත්යවරයා ඇතුළු අමාත්ය මණ්ඩලය හා මන්ත්රී කණ්ඩායම දිවුරුම් දීම සිදු විය. පසුව ශිෂ්ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්යවරුන් විසින් තම අමාත්යාංශ මගින් ක්රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා සහතික පත්ර ලබා දීම ද ආරාධිතයින්ගේ ප්රධානත්වයෙන් සිදු විය.වැඩසටහන අවසන් කරමින් පේරාදෙණිය රණබිම විද්යාලයේ විදුහල්පති එම්. එම්. පෙරේරා මහතා විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ලුතිනල් කර්නල් නදීක දංගොල්ල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
2026-10-13
වකුගඩු රෝගීන් 53,604 දෙනෙකුට රු.10,000 බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා මේ වසරේ අගෝස්තු මාසය වන විට හඳුනාගෙන තිබු බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අනාවරණය කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක් නොමැති බවත්, ඉල්ලුම් කරන වකුගඩු රෝගීන්ට සුදුසුකම් අනුව මාසික දීමනාව ගෙවන බව ද ඒ මහතා කියා සිටියේය.
2026-10-13
දැනට දිවයින පුරා පෞද්ගලික බස්රථ 19,646ක් ධාවනය වන බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්රී රුවන්තිලක ජයකොඩි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්රශ්නයකට 2026 ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.ඒ අනුව, අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නියාමනය කෙරෙන අතර, පළාත් තුළ ධාවනය වන බස්රථ අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරීන් නවය මගින් නියාමනය කරනු ලබන බවද නියෝජ්ය අමාත්යවරයා පැවසීය. එමෙන්ම, ප්රසිද්ධ බස් නැවතුම්පොළවලදී පෞද්ගලික බස්රථවලින් නීති විරෝධී ලෙස මුදල් අය කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට නීතිමය බලයක් හෝ අවසරයක් නොමැති බවද සඳහන් කල නියෝජ්ය අමාත්යවරයා එවැනි මුදල් අය කිරීම් වැළැක්වීම සඳහා බස්රථ සේවකයන් දැනුවත් කර ඇති අතර, අදාළ සිදුවීම් වාර්තා වුවහොත් ශ්රී ලංකා පොලීසිය මගින් නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබ බවද පැවසුවේය.
2026-10-13
2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව ශ්රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ජනගහනය 3,921,124ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් 18.002%ක් වන බවත් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ධනුෂ්ක රංගනාත් මහතා යොමු කළ ප්රශ්නයකට 2026 ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.මෙම වැඩිහිටි ජනගහනයෙන් 1,712,535ක් පුරුෂයන් වන අතර, 2,208,589ක් ස්ත්රීන් වන බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව වැඩිහිටි ජනගහනයෙන් 43.67%ක් පුරුෂයන් වන අතර 56.33%ක් ස්ත්රීන් වේ.2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ 2002 වර්ෂයේ ජූනි මාසයේදී ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ ජාතික සභාව පිහිටුවා ඇති බව ද අමාත්යවරයා පැවසීය.වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම සහ අවශ්ය සේවා සැපයීම සඳහා මෙම ආයතන කටයුතු කරන බවත්, වැඩිහිටි සුරැකුම් මධ්යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම, වැඩිහිටි දිවා මධ්යස්ථාන සඳහා සහාය ලබා දීම සහ වැඩිහිටි කමිටු සවිබලගැන්වීම ඒ අතර ප්රධාන වන බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.2025 වර්ෂයේදී වැඩිහිටි හැඳුනුම්පත් 44,899ක් නිකුත් කර ඇති අතර, 2026 වර්ෂය තුළ හැඳුනුම්පත් 45,000ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්යවරයා ප්රකාශ කළේය. එමෙන්ම, 2026 වර්ෂයේදී වැඩිහිටි නිවාස 25ක අලුත්වැඩියා කටයුතු සහ උපකරණ සැපයීම වෙනුවෙන් ප්රතිලාභීන් 500කට සහාය ලබා දීමට අපේක්ෂා කරන බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks