2026-09-07
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 13 වැනි රැස්වීම එම සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
2026 ජූලි සිට 2027 ජූනි දක්වා කාලසීමාව සඳහා සකස් කළ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) තාක්ෂණික සහයෝගය ඇතිව සකස් කර ඇති මෙම ක්‍රියාකාරී සැලැස්ම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය, අයවැය වෙනුවෙන් පෙනී සිටීම සහ වගවීම, නෛතික හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරිණි.
IFES ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මහත්මිය සහ ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජික ටිකිරි කුමාර ජයවර්ධන මහතා විසින් සංසදය හමුවේ මෙතෙක් සිදු කර ඇති කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්කරණයට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කිලිනොච්චිය, මුලතිව්, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවත්වා ඇති දිස්ත්‍රික් උපදේශන වැඩසටහන්වල අත්දැකීම් මත ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේද මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව සඳහන් විය.
එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක ප්‍රවේශ විගණන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවගේ සක්‍රීය සහභාගිත්වය ලබා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ගොඩනැගිලි සහ නගර සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවේශතා පහසුකම් ඇතුළත් කිරීම මඟින් පසුව සිදු කිරීමට සිදු වන අධික වියදම් සහිත වෙනස්කම් අවම කරගත හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
2027 ජාතික අයවැය සඳහා ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සකස් කළ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යෝජනා 234කින් සමන්විත වාර්තාවක් දැනටමත් ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර ඇති බවද මෙහිදී සඳහන් විය. එම යෝජනා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ මඟින් ආබාධ සහිත තැනැත්තන්ට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නේද යන්න සමීපව නිරීක්ෂණය කිරීමට ද සංසදය තීරණය කළේය.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා පවතින නෛතික හා ප්‍රතිපත්තිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දැනට සකස් කරමින් පවතින “ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත” සහ “සංඥා භාෂා පනත් කෙටුම්පත” පිළිබඳ ප්‍රගතිය විමසීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.
එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන සහ ප්‍රමිතීන් ජාත්‍යන්තර යහ පිළිවෙත්වලට අනුකූලව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පෞද්ගලික අංශයේ ආයතන සඳහා ප්‍රවේශතා සම්බන්ධ මාර්ගෝපදේශ හඳුන්වා දී, ඒවා ක්‍රමයෙන් නෛතික රාමුවකට ඇතුළත් කිරීම මෙන්ම තෝරාගත් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ ආදර්ශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් විය.
රාජ්‍ය සේවා වඩාත් ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ සේවා බවට පත් කිරීම සම්බන්ධයෙන්ද රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. කම්කරු අමාත්‍යාංශයේ “මෙහෙවර පියස” ගොඩනැගිල්ල සහ සෙත්සිරිපාය I සහ II අදියර ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රවේශ විගණනවල ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෙත්සිරිපාය III අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිටම ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශවිය හැකි ආකාරයට සැලසුම් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී සඳහන් විය.
මීට අමතරව, පහත් තට්ටුව සහිත බස් රථ සේවා, ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශවිය හැකි සංචාරක කර්මාන්තය සහ “මිතුරු නගර” වැඩසටහන වැනි වැඩසටහන් රාජ්‍ය සේවාවන්හි ප්‍රවේශතාව වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශ ලෙස හඳුනාගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රවේශතා බාධක ඉවත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
රැස්වීම අවසානයේ අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාවට බියෙන් හා සැකයෙන් තොරව නිදහස්, ස්වාධීන සහ ගෞරවාන්විත සමාජ ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සංසදයේ ප්‍රධාන අරමුණක් බවයි.
ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ගේ හඬට ප්‍රමුඛත්වය ලබාදීම සහ සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මෙම කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කටයුතු සඳහා දායක වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, IFES ආයතනයට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ඒ මහතා සිය ස්තූතිය පළ කළේය.
මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-10-08
NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්ය අක්රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්ය ප්රකාශනවල මතු වූ අසාමාන්යතා, විගණන ක්රියාවලියේ පැවති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්යා ආරියරත්න, අර්කම් ඉල්යාස් සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් නිරීක්ෂණ මණ්ඩලය (SLAAMB) විසින් සිදු කර ඇති විමර්ශනයේ සොයා ගැනීම් සහ Deloitte Touche Tohmatsu India LLPආයතනය විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පිළිබඳවද අවධානය යොමු විය. විශේෂයෙන්ම NDB බැංකුවේ මූල්ය ප්රකාශනවල පැවති අසාමාන්යතා හඳුනා ගැනීමට බාහිර විගණකවරුන් අසමත් වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලීය.අදාළ මූල්ය අක්රමිකතා සම්බන්ධයෙන් ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, NDB බැංකුවේ සැලකිය යුතු කොටස් ප්රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතු බැවින්, මෙවැනි මූල්ය අක්රමිකතාවලින් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදු විය හැකි බලපෑම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.මූල්ය පද්ධතිය තුළ සිදුවන වංචා වැළැක්වීම සඳහා LankaPay මඟින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කළ අතර එක් එක් බැංකුව තුළ සිදු වන ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා බැංකු මට්ටමින් වංචා නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.ඒ අනුව, NDB බැංකුවේ මූල්ය අක්රමිකතාව පිලිබඳ අවසන් විගණන වාර්තාවේ පහත නිරීක්ෂණ ඇතුළත් වේ.1. මෙම විගණනය 2016.04.01 සිට 2026.03.31 දක්වා වූ කාලසීමාව ආවරණය කරයි. රු. 13,639,664,684/- (රු. බිලියන 13.6) ක වටිනාකමකින් යුත් වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්ය බලපෑම මෙම විගණන වාර්තාව මගින් නිශ්චිතව දක්වා ඇත.2. 2026.09.29 දින සිදු කරන ලද හෙළිදරව්වට අනුව, වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්ය බලපෑම පහත පරිදි වේ.• 2025.01.01 ට පෙර කාලසීමාව සඳහා රු. බිලියන 1.5 ක් • 2025 වර්ෂය තුළ රු. බිලියන 9.6 ක් • 2026.03.31 න් අවසන් වූ කාර්තුව සඳහා රු. බිලියන 2.5 ක්3. 2026.04.06 දින NDB විසින් සිදු කරන ලද මූලික හෙළිදරව්ව හා සසඳන විට, වාර්තා වූ වංචා මුදල රු. බිලියන 13.2 සිට රු. බිලියන 13.6 දක්වා රු. බිලියන 0.4 කින් ඉහළ ගොස් ඇත. 2026.06.22 දිනැති අතුරු වාර්තාව මත පදනම්ව 2026.06.26 දින NDB විසින් හෙළිදරව් කරන ලද මුදල හා සසඳන විට, මෙම අතිරේක වංචා මුදල රු. මිලියන 60 කි.4. මෙම වංචා සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බවට මීට පෙර සිදු කළ හෙළිදරව් කිරීම් අවසාන විගණන වාර්තාව මගින් ද තහවුරු කර ඇත.5. CEFT ගනුදෙනු සැකසීම, මූලික බැංකුකරණ පද්ධතියේ (Core Banking system) පරිශීලක මට්ටමේ ක්රියාකාරකම් (user activities) සහ පරිශීලක ප්‍රවේශ තොරතුරු (user credentials) කළමනාකරණයට අදාළව NDB හි පාලන ව්යුහ (governance) අසාර්ථකත්වයන් කිහිපයක් මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. මීට අමතරව, ගනුදෙනු අධීක්ෂණය( transaction monitoring), දෛනික ගිණුම් සැසඳීමේ ක්‍රියාවලිය (reconciliation), මූල්ය අනුකූලතාව (compliance), අභ්යන්තර විගණනය, ශාඛා ජාල කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය (operational risk management) වැනි ක්‍රියාකාරී ක්ෂේත්‍ර කිහිපයක ද අඩුපාඩු හඳුනාගෙන තිබේ.6. බැංකුවේ ඉහත සඳහන් ක්රියාකාරකම් තුළ පාලන ක්‍රමවේද, පාලන ව්යුහයන් සහ ක්රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිර්දේශ මෙම විගණන වාර්තාව මගින් ලබා දී ඇත.
2026-10-05
තාරුණ්ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.ඒ තාරුණ්ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය සැප්. 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. WFD ආයතනයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිද තාරුණ්ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා WFD ආයතනය මඟින් ලබාගත හැකි සහාය, පුහුණු අවස්ථා සහ තරුණ නායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද තරුණ පරම්පරාව දේශපාලන ක්රියාවලියට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ පාලන ක්රියාවලියට සක්රීයව සම්බන්ධ කරගැනීමේ වැදගත්කම පිළිබඳවද පැමිණි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු විය. විශේෂයෙන්ම මැතිවරණවලින් පසුවද තරුණයින් අඛණ්ඩව දේශපාලන හා ප්‍රතිපත්ති සංවාද සමඟ සම්බන්ධ කර තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.එමෙන්ම, තරුණයින් මුහුණ දෙන රැකියා විරහිතභාවය ඇතුළු සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ නායකත්වය සහ ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.
2026-10-05
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමු විය. එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද උක්ත පනතින් පසුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව සඳහන් කළේය. 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී ඇති බැවින්, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව විසින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදී. මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන පරිදි ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” (Nothing About Us Without Us) යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම, ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම (reasonable accommodation), රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්රමිතීන්ට ගැලපෙන පරිදි, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ පනත් කෙටුම්පත් සම්පාදක අනුකමිටුවේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-10-02
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීමට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක් ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ සහ කොමිෂන් සභා පොදු අරමුදල මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය 971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්යාවක් ප්රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්රාල් ප්රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.