logo

බලන්න

02

E   |     |  

2026-07-06

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විමසා බැලේ

2025 වසරේ  සහ 2026 වසරේ පළමු කාර්තුවේ  ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, රාජ්‍ය ආදායම් රැස් කිරීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, රාජ්‍ය ණය තත්ත්වය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව  ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී  විමසා බලන ලදී. 

මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, අර්කම් ඉල්යාස්,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, තිළිණ සමරකෝන්, නිමල් පලිහේන, එම්.කේ.එම්. අස්ලම්, අජිත් අගලකඩ, චම්පික හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  සහ  මාර්ගගත තාක්ෂණය ඔස්සේ විජේසිරි බස්නායක යන  මහත්ම මහත්මීහු   සහභාගි වූහ.

මෙහිදී 2025 වර්ෂයේ රාජ්‍ය ආදායම් රැස් කිරීම ඇස්තමේන්තුගත ඉලක්ක ඉක්මවා වාර්තාගත ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අනාවරණය වූ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ. එමෙන්ම 2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ද ආදායම් රැස් කිරීම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බව  එම නිලධාරීහු  සඳහන් කළහ.

රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන් විශ්‍රාම වැටුප් පද්ධතියේ දිගුකාලීන මූල්‍ය තිරසරභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ යුතු බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම ප්‍රාග්ධන වියදම් යටතේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මුදලක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

තවද රාජ්‍ය ණය කළමනාකරණය, ණය සේවාකරණය, මුදල් රක්ෂිත පවත්වාගෙන යාම සහ පොලී අනුපාතවල බලපෑම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ  සුරාබදු ඩිජිටල් ස්ටිකර් ව්‍යාපෘතියේ පිරිවැය හා එහි විනිවිදභාවය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, ඉදිරි ටෙන්ඩර් ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් හා පිරිවැය කාර්යක්ෂමතාවය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින්  පෙන්වා දෙන ලදී.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ 2025-2026 කාල සීමාව තුළ ප්‍රගතියද සාකච්ඡා කෙරිණි. මෙහිදී  RAMIS පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම, බදු ගෙවන්නන් සඳහා පහසු වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් හඳුන්වා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා රේගුව සමග පැවති සාකච්ඡාවේදී, රථවාහන සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී දේශ සීමා නීතිරීති උල්ලංඝනය වීම (Cross-border LC violation) නිසා මුදා හැරීමෙන් තොරව තවමත් වරායේ වාහන නවතා ඇති බව හෙළි විය. එබැවින්, ප්‍රමාද ගාස්තු අය කර හෝ සුදුසු පිළියමක් සාකච්ඡා කොට වාහන කඩිනමින් වරාය අංගනයෙන් නිදහස් කළ යුතු බව කාරක සභාව විසින් අවධාරණය  කරන ලදී.

වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳ කාරක සභා සාමාජිකයන් සාකච්ඡා කළහ. Electric සහ Hybrid වාහන සඳහා ඒවායේ මිල මත පදනම්ව බදු පැනවීමෙන් (අඩු මිල රථ සඳහා අඩු බදු) රථවාහන මිල සැලකිය යුතු ලෙස වෙනස් වන බවට ද මෙහිදී අදහස් ඉදිරිපත් විය. මේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව, බදු ප්‍රතිපත්ති සඳහා සැලකිල්ලට ගත හැකි බව සාකච්ඡා විය.

මෙහිදී රාජ්‍ය ආදායම් වර්ධනය යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළද, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සහ පුනරාවර්තන වියදම් පාලනය කිරීම සඳහා දිගුකාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එමෙන්ම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ ඩිජිටල්කරණය තවදුරටත් ශක්තිමත් කිරීම රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.




සම්බන්ධිත පුවත්

2026-07-06

දකුණු පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන්ගේ ගැටලුව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

2023 වසරේ පැවති  දකුණු පළාත් ගුරු විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයට මුහුණදී එහෙත් පසුව බඳවා ගැනීම අත්හිටුවීමට ලක්වූවන් පිරිසකගේ නියෝජිතයන් පසුගියදා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබිණි. එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකර, එම විභාගයෙන්ම තවදුරටත් තනතුරු 704කට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබිණි. එහෙත් 2025 ජූනි මාසයේ ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සියලු බඳවා ගැනීම් නතර වී ඇති අතර එමගින් ඉහත සම්මුඛ පරීක්ෂණයට ලක්වූ පිරිසට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව කාරක සභාවට සහභාගීව සිටි නියෝජිත පිරිස සඳහන් කළහ.  මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට කැඳවා තිබිණි. මේ වන විට දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 1417ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවත් එහෙත් එම අවසරය ඇත්තේ 2023 පැවති විභාගයෙන් අනතුරුව පැවති තරග විභාග දෙකක් සදහා පමණක් බවත් ඔවුහු සඳහන් කළහ.   අවස්ථා කිහිපයකදීම මෙම පුරප්පාඩු 704 බඳවා ගැනීම සදහා වෙනම අනුමැතියක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද එය සාර්ථක නොවූ බව නිලධාරීහු ප්‍රකාශ කළහ. ඒ අනුව ‍දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව මෙම පිරිසට සාධාරණයක් ඉෂ්ට විට යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සඳහා නිලධාරීන්ගේ පාර්ශ්වයේ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ඉදිරියේදී නැවතත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත්  දැනුම් දුන්නේය. අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට තරග විභාගයකින් තොරව ගුරු පත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් කළ ඉල්ලීමට අනුව එම නියෝජිත පිරිසක් කාරක සභාවට කැඳවා තිබිණි. නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු අනුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් කළමණාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කිරීමටත්, ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳව නැවත සලකා බැලීමට කටයුතු කරන බවත් කාරක සභාව විසින්  දැනුම් දෙන ලදී.මීට අමතරව 2008/2009 වසරවල සේවයට බඳවාගත් පාසැල් රසායනාගාර සේවකයන්  සහ පාසැල් මුරකරු  පිරිසකගේ  වැටුප් වර්ධක 2018 වසරේ සිට අත්හිටුවීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා විය. එම අසාධාරණයට ලක්වූවා යැයි කියන පිරිසේ නියෝජිතයන් කාරක සභාවට කැඳවා තිබිණි.    2018 වසරේ සිට වැටුප් වර්ධක ලබාදීම නතර කිරීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ 2008/2009 වසරවල ඔවුන් සේවයේ පිහිටුවීමේදී දකුණු පළාත් සභාව වැරදි වැටුප් පරිමාණයක පිහිටුවා වැටුප් ගෙවීමයි. ඒ අනුව අදාළ අනුමතිය ලබා දුන් නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවට වසර 10කට පසු සේවකයන්ගෙන් එම මුදල් අය කර ගැනීම සඳහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය හැකි හොඳම සාධාරණ යෝජනා කාරක සභාවට යොමු කරන ලෙසත්, ඒ අනුව සාධාරණ විසඳුමක් ලබාදීමට මැදිහත්වන බවත් කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. අනතුරුව කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා විසින් කාරක සභාවේ මුලසුන හොබවන ලද අතර කැලණිය විශ්ව විද්‍යාල‍යේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ 2022 හා 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පශ්චාද් උපාධි  ආයතනයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා සහ  ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදුවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය වී.එස් රාධක්‍රිෂ්ණන්, අබූබකර් අතම්බාවා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි,   නීතීඥ නිලූෂා ලක්මාලි ගමගේ, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක, චානක මාදුගොඩ, සංජීව රණසිංහ සහ තුරෛරාසා රවිකරන් යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-07-03

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳ විශේෂ කාරක සභාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්විණි.මෙම  විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන් සහභාගී වූහ.පළාත් සභා මැතිවරණයේදී කාන්තා සහ තරුණ නියෝජනය වඩාත් ඵලදායී ලෙස සහතික කළ හැකි විකල්ප මැතිවරණ ක්‍රමවේද කිහිපයක් පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුවමාරු කෙරිණි. පැරණි සමානුපාතික මැතිවරණ ක්‍රමය යළි භාවිත කිරීමේදී නාමයෝජනා ලැයිස්තුවල කාන්තා සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීම, සීමා නිර්ණය සම්බන්ධ නීතිමය බාධා නිරාකරණය කරමින් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යොමු වීම, සහ කාන්තාවන් සඳහා වෙන් කළ කොට්ඨාස හඳුන්වා දීම ඇතුළු යෝජනා මෙහිදී ඉදිරිපත් විය.එමෙන්ම, නාමයෝජනා ලැයිස්තු මට්ටමින් පමණක් නොව, සභාව තුළද කාන්තා නියෝජනය නීතිමය වශයෙන් සහතික කිරීම කෙරෙහි මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය. ඒ අනුව, සභාවේ සමස්ත නියෝජනයෙන් අවම වශයෙන් 25% ක හෝ 1/3 ක (33%) කාන්තා නියෝජනයක් තහවුරු කිරීම සඳහා වන ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මනාප ඡන්ද ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩිදියුණු කළ හැකි ක්‍රම, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ද මෙහිදී සලකා බැලිණි. එමෙන්ම, තරුණ නියෝජනය මැතිවරණ ක්‍රමය තුළ වඩාත් ඵලදායී ලෙස සහතික කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අදහස් පළ විය.එසේම, පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සහ නිර්දේශ සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බව ද කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.


2026-07-01

විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ උපකෘත පාසල් පද්ධතියේ ගැටලු පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන විශේෂ පාසල් සහ උපකෘත පාසල් පද්ධතිය මුහුණ දෙන ගැටලු මෙන්ම එම ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක්  එම සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්විණි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය ද ප්‍රමුඛ අංගයක් ලෙස සැලකිල්ලට ගත යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. අබාධ  සහිත  දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් (ග්‍රහණ ශක්තිය)  සහ අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩාත් අන්තර්කරණය  සහ සමානාත්මතාවය මත පදනම් වූ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද  එහිදී අදහස් පළ විය.එසේම විශේෂ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන පරිපාලනමය හා වෘත්තීය ගැටලු, පාසල් කළමනාකරණයට අදාළ අභියෝග, විෂයමාලා සංවර්ධනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සුදුසු ඇගයීම් ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.විශේෂ අවශ්‍යතා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ කළමනාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී සැලකිල්ලට ගැනීමට ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්  මෙහිදී එකඟතාව පළ කළ  අතර, ඉදිරියේදී ඒ සඳහා පවත්වන සාකච්ඡාවක් සඳහා විශේෂ පාසල්වල නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමටත්, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබාගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමට ත් තීරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා  සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ  නියෝජ්‍ය සභාපති තිලක් ධර්මරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා  විශේෂ අධ්‍යාපන  ඒකකයේ  නිලධාරීන්, ආබාධ සහිත ළමුන් සඳහා වූ විශේෂ පාසල්වල විදුහල්පතිවරුන්, එම පාසල්වල කළමනාකරුවන් සහ ගුරුවරුන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-25

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා රැස්වූ අවස්ථාවේදීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 08 වැනිදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දුන්  වාර්තාව ශ්‍රී  ලංකා මහ බැංකුවේ  නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඇතුළත්  වාර්තාවක් මෙලෙස  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි.   මෙහිදී  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරිණි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා  මහ බැංකුව  විසින් ඉදිරිපත් කළ  වාර්තා දෙකම සලකා බලා  අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් ද  සහභාගී විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks