E   |     |  

2026-08-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

බන්ධනාගාර තදබදය අවම කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් විමසයි

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය දා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට  නඩු පැවරීම දක්වා පොලිස්  දෙපාර්තමේන්තුවේ  ක්‍රියාවලිය මෙන්ම, ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද  සාකච්ඡා කෙරිණි.

එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද වීම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් සහ එමගින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද අවධානය යොමු විය.

මත්ද්‍රව්‍ය මර්දනයේදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ ඒවාට සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම දුරකථන  සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, අපරාධ වැළැක්වීම සඳහා මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම සහ පවතින නීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය. විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කිරීම මඟින් නඩු කටයුතු වේගවත් කර බන්ධනාගාර තදබදය අවම කිරීමට හැකි වනු ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය, වෘත්තීය පුහුණුව සහ විමර්ශන කුසලතා ඉහළ නැංවීම මෙන්ම පොලිස් කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ චන්දන සූරියආරච්චි සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.



සම්බන්ධිත පුවත්

2026-09-18

පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වා මහතාට

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය  සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (CPA New Parliamentarian Award 2026) හිමි කර ගත්තේය.දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී ඊයේ (සැප්. 17) පැවති 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී මෙම සම්මානය ඒ මහතා වෙත නිල වශයෙන් පිරිනැමිණි.2024 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දායක වී තිබේ. විවිධ ආයතන සමඟ සහයෝගයෙන් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද ඒ මහතා කටයුතු කර ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සහභාගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සහභාගිත්ව අයවැය උපදේශනය මෙහෙයවීම ඒ අතර ප්‍රධාන වේ.


2026-09-18

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට විශේෂ කාරක සභාව තීරණය කරයි

දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10)  රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.


2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks