පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-25
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණි.
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු මෙන්ම ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙහිදී, මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතය. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණ ද සැලකිල්ලට ගැනීමට නියමිතය.
මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම මෙන්ම, අවශ්‍යතාව පවතින්නේ නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.
ඒ අනුව, කාරක සභාවේ අවසන් අරමුණ වන්නේ පවතින ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් එක් කිරීම පමණක් නොව, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන වඩාත් විශ්වාසනීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.
මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-25
තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA විශේෂ අවධානය යොමු කෙරිණි. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් 2026 අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, ඒ මඟින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු පැවසූහ.අතිකාල දීමනා ගෙවීමේදී සේවක පැමිණීම නිවැරදිව තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගෙන ඇති බවත්, ඉදිරියේදී එම දත්ත පදනම් කර ගනිමින් අතිකාල දීමනා ගෙවීම් වඩාත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.තැපැල් සේවාව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, Speed Post, Cash on Delivery සහ International Courier වැනි අගය එකතු කළ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, තැපැල් බැංකු සේවා ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව සතු උපතැපැල් කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයෙන දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීරආරච්චි, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-24
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මෙන්ම, ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද වීම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් සහ එමගින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද අවධානය යොමු විය.මත්ද්‍රව්‍ය මර්දනයේදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ ඒවාට සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම දුරකථන සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, අපරාධ වැළැක්වීම සඳහා මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම සහ පවතින නීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.එමෙන්ම, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය. විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කිරීම මඟින් නඩු කටයුතු වේගවත් කර බන්ධනාගාර තදබදය අවම කිරීමට හැකි වනු ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය, වෘත්තීය පුහුණුව සහ විමර්ශන කුසලතා ඉහළ නැංවීම මෙන්ම පොලිස් කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ චන්දන සූරියආරච්චි සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-08-24
• මූල්‍ය පරිපාලනය, අපජල කළමනාකරණය සහ පර්යේෂණ දීමනා පිළිබඳව අවධානයපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 19) පාර්ලිමේන්තුවේදී රැස්විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මේ මස 05 වැනිදා ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය COPE කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එම සාකච්ඡාවේ දිගුවක් ලෙස දෙවැනි දිනටත් මෙසේ රැස් වුණි. මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය පරිපාලනය, අපජල කළමනාකරණය, පර්යේෂණ දීමනා ගෙවීම, ආයතනික පාලනය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලයේ අපජල පද්ධතිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ අතර, නේවාසිකාගාර කිහිපයකින් බැහැර වන අපජලය මුදාහැරීම හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව සාකච්ඡා කෙරිණි. අපජල පද්ධතිය මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් මුල් ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 464 සිට රුපියල් බිලියන 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ජයිකා ආයතනය හරහා රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන ලබාගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.විශ්වවිද්‍යාලය සතුව පවතින බැංකු ගිණුම් 68ක් සහ විවිධ අරමුදල්වලට අදාළ ගිණුම් විශාල සංඛ්‍යාවක් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඇතැම් ව්‍යාපෘති අවසන් වීමෙන් පසුවද ඒවාට අදාළ ගිණුම් වසා නොදමා පවත්වාගෙන යාම සහ අරමුදල් පිළිබඳ තොරතුරු මධ්‍යගතව නිරීක්ෂණය නොවීම සම්බන්ධයෙන් කාරක සභාව කරුණු විමසා සිටියේය.පර්යේෂණ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ පර්යේෂණ වාර්තා ලබා ගැනීමකින් තොරව අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බව සාකච්ඡාවේදී අනාවරණය විය. එම නිලධාරීන් අතරින් 28 දෙනෙකු 2023 ජුනි 30 වන විටත් අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබූ බවද සඳහන් විය.පර්යේෂණ දීමනා පර්යේෂණ කටයුතු සඳහාම යොදාගැනීම සහ ඒ සඳහා නියමිත ක්‍රමවේදයට අනුව පර්යේෂණ යෝජනා, ප්‍රගති වාර්තා සහ අවසන් වාර්තා ලබාගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය. පර්යේෂණ කටයුතු දිරිමත් කළ යුතු වුවද, පර්යේෂණ දීමනා අමතර වැටුපක් ලෙස භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද කාරක සභාව පෙන්වා දුන්නේය.තවද, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ (DMS) අනුමැතියකින් තොරව පවතින තනතුරු සහ සිදුකර ඇති දීමනා ගෙවීම් සම්බන්ධයෙන්ද කරුණු විමසන ලදී. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි සහ පවතින නීති රීතිවලට අනුකූල නොවන සියලුම තනතුරු හා ගෙවීම් නීත්‍යානුකූලව නිරවුල් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.මේ අතර, විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන සැලසුම් පැහැදිලි කාර්ය සාධන දර්ශක (KPIs) සහිතව සකස් කිරීමේ අවශ්‍යතාවද COPE කාරක සභාව අවධාරණය කළේය. අපජල හා කසළ කළමනාකරණය, නව සායනික බ්ලොක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.අදාළ විගණන විමසුම් සඳහා නිශ්චිත හා සෘජු පිළිතුරු ලබාදීම, සියලු අරමුදල් හා ගිණුම් පිළිබඳ නිසි මූල්‍ය තොරතුරු අනාවරණය කිරීම සහ විගණන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, සමන්මලී ගුණසිංහ, නීතීඥ නිලන්ති කොට්ටහච්චි, තිලිණ සමරකෝන්, සුදත් බලගල්ල සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-21
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන “Voice to Policy” සංවාදමය ප්‍රාදේශීය වැඩසටහන් මාලාවේ දෙවැන්න මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා අගෝස්තු 29 වැනිදා මඩකලපුව ‘East Lagoon’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 19) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි. තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරෙන අතර සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට අගොස්තු 24 දිනට පෙර ලියාපදිංචි විය විය යුතුය. එසේම සහභාගී වන්නන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් හෝ ප්‍රවර්ධනය කරන සංකේතවලින් තොර ඇඳුමින් සැරසී සිටිය යුතු බවත් සංසදය විසින් දැනුම් දෙන ලදී. මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු මාලාව සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ එක්ව සිටියහ.එසේම මෙම රැස්වීමේදී ‘INTER Pares’ ව්‍යාපෘතියේ නියෝජිතයන් සමග මාර්ගගත තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති අතර සංසදයේ ඉදිරි වැඩසටහන් සඳහා එම ආයතනයේ සහය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. එම සාකච්ඡාවේ සම්බන්ධීකරණය සඳහා දායකත්වය දුන් Westminster Foundation for Democracy (WFD) හි මෙරට නියෝජිත සංජය විග්නරාජා මහතා ද මෙම අවස්ථාවට එක්විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks