E   |     |  

2026-05-26

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මධ්‍යම පළාත් සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට

2021 - 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික තත්ත්ව වාර්තාවත්, 2024 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාවත් සහ වර්තමාන කාර්යසාධනයත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට මධ්‍යම පළාත් සභාව කැඳවා පරීක්ෂා කෙරිණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී, 2019 සැප්තැම්බර් 05 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බලමින් මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලිපි ගොනු විනාශ කිරීම සම්බන්ධ සිදුවීමට අදාළ කරුණු සාකච්ඡාවට ගැනිණි.

එහිදී, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින්  සහ ජනාධිපති ලේකම් විසින් ලබාදුන් නියෝග අදාළ බලධාරීන් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය විය. මේ සම්බන්ධව උපදෙස් ලබාදෙමින් කාරක සභා සභාපතිවරයා එම සිදුවීමට අදාළ සියලුම වාර්තා සහ ලිපි, කාරක සභාවට යොමු කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ  නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද, අනීතික ලෙස බදු කොන්දේසි උල්ලංඝනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිමන්හලක් තෙවන පාර්ශ්වයක් වෙත ලබාදීමට අදාළ සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව එම සිදුවීමට අදාළව තීරණ ගත් නිලධාරීන් හඳුනාගැනීමට කටයුතු කරන ලෙස සහ මෙම සිදුවීම මේ සම්බන්ධව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසත්, කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී ඇති මධ්‍යම පළාතේ, මාර්ග සංවර්ධනයේදී හා මගී ප්‍රවාහන සේවා කටයුතුවලදී සිදුව ඇති අක්‍රමිකතා සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, ආයතන තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ ක්‍රියාවලි කඩිනමින් සම්පූර්ණ කර ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. රාජ්‍ය ආයතනයක් ලාභ ලබන්නේ නම් එම ලාභය රජයට හිමිවිය යුතු අතර, එකී ආදායම් ආයතනික කටයුතු සඳහා යොදාගන්නේ නම් නිර්ණායකගත නීති හා ක්‍රමවේද අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවද හෙතෙම දැඩිව අවධාරණය කළේය.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, අජන්ත ගම්මැද්දෙගේ, චානක මාදුගොඩ, ටී.කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.  




සම්බන්ධිත පුවත්

2026-06-16

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පසුගියදා (ජුනි 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125(5) ප්‍රකාරව ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාවට 2025 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා විභාග කරන ලද මහජන පෙත්සම්වලට අදාළව කාරක සභාව විසින් ලබා දෙන ලද නිර්දේශයන් සහ කාරක සභා විමර්ශනවලදී නිරීක්ෂණය වූ විශේෂ කරුණු ඇතුළත් කර ඇත. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා  පෙත්සම් විභාග කිරීම සඳහා රැස්වීම් වාර 15ක් පවත්වා පෙත්සම් 89 ක් මේ දක්වා විභාග කර ඇත. ඒ අතුරෙන් නිර්දේශ ලබා දී ඇති පෙත්සම් සංඛ්‍යාව 43ක්ද, සහන නිර්දේශ නොකරන ලද පෙත්සම් සංඛ්‍යාව 33ක්ද, නිර්දේශ ලබා දීම කල් තබන ලද පෙත්සම් සංඛ්‍යාව 13ක්ද වේ. එම පෙත්සම් 89 සම්බන්ධයෙන් වූ තොරතුරු මෙම වාර්තාවේ අඩංගු වේ. දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125(5) ප්‍රකාරව එහි පළමුවැනි සහ දෙවැනි වාර්තා (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 250 සහ 390) පිළිවෙළින් 2025 අගෝස්තු මස 07 වැනි දින සහ 2025 දෙසැම්බර් මස 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 


2026-06-12

ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝ වේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සහ යුනෙස්කෝ වේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්කිරීම සඳහා  පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය  ලබාදී ඇත.ඒ  අනුව ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ  (යුනෙස්කෝ)  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පී. ආර්. එස්. එස්. ගුණරත්න මහතාගේ නාමයෝජනාවට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කාරක සභාවේ සාමාජික ගරු අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, රාමලිංගම් චන්ද්‍රසේකර්, ආචාර්ය උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිසාඩ් බදියුදීන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්,ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.


2026-06-11

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දී තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කාරක සභාව පසුගියදා (ජුනි 08) පාර්ලිමේන්තුවේදී රැස් විය.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ එම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර, මහ බැංකු නිලධාරීහු මෙම වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ තවත් වාර්තාවක්ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටියහ. ඒ අනුව මෙම වාර්තා දෙකම සලකා බැලීමෙන් අනතුරුව අවසන් වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. 


2026-06-09

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන, මුල්‍යමය වංචා සම්බන්ධයෙන් වන COPA වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් සිදුකරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහා වූ යෝජනාවට  පාර්ලිමේන්තුවේ  අනුමැතිය අද දින (ජුනි 09) හිමි විය.මෙම වාර්තාව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවල කරුණු ඇතුළත් වන අතර, එය 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව අදාළ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර, එම අමාත්‍යවරුන්ගේ පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කරුණු යළි සලකා බලන ලදී.එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි අනාවරණය වූ මූල්‍යමය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඒකමතිකව තීරණය කෙරිණි.ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව පාර්ලිමේන්තුව විසින් අද දින අනුමැතිය ලබාදෙන ලදී.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවක් මීට ඉහතදී මෙලෙස නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර නොතිබූනු අතර, එවැනි ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව විසින්  ගනු ලැබූ පළමු අවස්ථාව ද මෙය වෙයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks