logo

01

E   |     |  

2026-04-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2026 අයවැය මගින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ ප්‍රතිපාදන සහ වැඩසටහන් පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමාත්‍යාංශ කිහිපයක් සමග සාකච්ඡා පවත්වයි

ආබාධ සහිත  තැනැත්තන්  සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව  අමාත්‍යාංශ කිහිපයක්   සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  සාකච්ඡා පවත්වන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමේදී උසස් අධ්‍යාපනය, ආගමික හා සංස්කෘතික ස්ථාන, අබාධ සහිත තැනැත්තන්  සඳහා  ප්‍රවේශ පහසුකම් සහිත නිවාස, ව්‍යවසායකත්වයට ණය ප්‍රවේශය සහ තාක්ෂණික නව නිපැයුම් යන ක්ෂේත්‍ර  සම්බන්දයෙන් ඒක්  එක් අමාත්‍යාංශ  කරුණු ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, 2024/2025 දී ආබාධ සහිත ශිෂ්‍යයන් 143ක් බඳවා ගත් බවත්, 2025/2026 දී එය 203 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්ය. සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රු. මිලියන 25-50 බැගින් වෙන් කර ඇති අතර, අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රු. 5,000ක අමතර මාසික දීමනාවක්   ද ලබාදීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම  විශ්වවිද්‍යාල කිහිපයක   වෛද්‍ය පීඨ සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් (Pilot study) ක්‍රියාත්මක කරන බවද ඔවුහු පැවසුහ. එමෙන්ම  විශ්වවිද්‍යාල  සඳහා ස්ථිර සංඥා භාෂා පරිවර්තකවරුන් බඳවා ගැනීමටත්, හදිසි අනතුරු නිසා ආබාධිත වන සිසුන් හඳුනාගෙන ඔවුන්ට රෝද පුටු වැනි ආධාරක උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව කටයුතු  සිදු කිරීම සඳහා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ දැනටමත් සම්බන්ධිකරණ නිලධාරීන් පත් කර ඇති බව එම අමාත්‍යාංශයේ  නිලධාරීහු පැවැසුහ. මෙහිදී සංසදයේ සභාපතිවරයා ආගමික ස්ථානවලට, විශේෂයෙන් විහාරස්ථානවලට ආබාධ සහිත තැනැත්තන්ට භෞතිකව ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳව පවතින ගැටලු පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. ඒ  අනුව ආගමික හා ඓතිහාසික ස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි යටිතල පහසුකම් සැපයීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වෙමින්  එම කටයුතු කිරීමට තීරණය විය.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන  අමාත්‍යාංශය බස්නාහිර පළාතේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රු. මිලියන 500ක් වෙන් කර ඇති අතර, 2026 දී නිවාස 9,700ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව  සංසදයේදී අනාවරණය විය. ආබාධ සහිත පිරිසට  ණය දීමේදී විශේෂ ලබාදීමේ  ක්‍රමවේදයක් යොදා  ඇති බවත්  එමෙන්ම  “ආදර්ශ සැලැස්මක්” සකස් කර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලන නිවාස ඉදිකිරීමට කටයුතු කිරීමට අමාත්‍යාංශය එකඟ විය.


ආබාධ සහිත තැනැත්තන්ගේ විශේෂ අවශ්‍යතා සලකා බලා සකස් කරන ලද නම්‍යශීලී "ආදර්ශ සැලසුම්"  මත ඔවුන්ගේ නිවාස ඉදිකිරීමට  අමාත්‍යාංශය කටයුතු කිරීමට  සැළසුම්  කරන  බව  අමාත්‍යාංශ නිලධාරීහු සංසදයට දැන්වූහ.

මෙහිදී කරුණු දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දුන්නේ බැංකු සහ ආබාධ සහිත ව්‍යවසායකයන් අතර “විශ්වාසයේ පරතරය” නිසා ණය ලබා ගැනීමට දැඩි අපහසුතා ඇති බවයි. ඒ අනුව, ආබාධ සහිත ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් සඳහා ණය ඇපකර යෝජනා ක්‍රමයක් (Credit Guarantee Scheme) හඳුන්වා දීමේ හැකියාව සොයා බලන ලෙස සභාපතිවරයා  විසින් අමාත්‍යාංශයට උපදෙස් ලබා  දෙන ලදී.

තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නව නිපැයුම් වාණිජකරණය කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව සඳහා පහසුකම් සපයන පර්යේෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව පැවසීය. ආධාරක උපකරණ (assistive devices) නිෂ්පාදනය සඳහා පර්යේෂණ කණ්ඩායම් පොළඹවන ලෙසටත්, ඒවා වෙළඳපොළට ගෙන ඒමේදී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසටත් සංසදය විසින්  අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

ඊට අමතරව තරුණ කටයුතු හා ක්‍රීඩා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක  හා පරිසර  යන  අමාත්‍යාංශයන්  හි නිලධාරිහුද ඔවුන්ගේ අදහස් දැක්වූහ.

ඒ අනුව එක්  එක් අමාත්‍යාංශ මගින්  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉහත සියලු සැලසුම්වල ප්‍රගතිය මාස හයකින් නැවත සමාලෝචනය කිරීමට ද මෙහිදී  සංසදය තීරණය කර  කරන ලදී.   

මෙම රැස්වීම සඳහා  සංසදයේ  නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම් මහතා,සංසදයේ  සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන පද්මසිරි බණ්ඩාර, චන්දිම හෙට්ටිආරච්චි සහ සංසදයේ සභාපතිවරයාගේ අවසරය මත  ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, ජගත් මනුවර්ණ යන  මත්වරුන් ඇතුළුව   නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. තවද  ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය සංසදය, ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය, Little People Association, Youth Network with Disabilities (YND) ඇතුළු සංවිධාන වල නියෝජිතයින් සහ  සංසදයේ සභාපති  සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ආරාධනය පරිදි අබාධිත ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් නිරික්ෂකයින් ලෙස හා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-08-13

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ   යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට  දැනුම් දෙන ලදී.මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ '301 වගන්තිය' (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද  අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට  තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ  නිලධාරීහු පැහැදිලි කළහ.


2026-08-13

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලේ

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන (දෙවැනි වර කියවීම) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සළකා බැලිණි. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ  සභාපතීත්වයෙන් යුතුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතා එදින නොපැමිණීම හේතුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කාරක සභාව පැවැත්විණි.  1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත මඟින්, වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එකී පනතේ විධිවිධාන පරිදි  වයස අවුරුදු 16ට වැඩි එහෙත් 18ට අඩු තරුණ අය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි පනවනු ලැබ ඇත. අදාළ පනත හා එකී පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි අනුව, අදාළ වයස් සීමාවේ ළමයින් හා තරුණ අය සෞඛ්‍යයට, ආරක්ෂාවට හා සදාචාරයට හානි වන ආකාරයේ අනතුරුදායක රැකියාවක යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. එකී පනත සඳහා 2003 වර්ෂයේදී සිදු කරන ලද සංශෝධනය මඟින් එම පනතේ විධිවිධාන අනුව වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් 10,000/- නොඉක්මවන දඩ මුදලක් හෝ මාස 12ක් නොඉක්මවන කාලයක සිර දඬුවමක් යන දෙයාකාරයකින් එක් ආකාරයක දඬුවමක් හෝ එකී දඩය සහ සිර දඬුවම යන දෙකම සහ අධිකරණයේ අභිමතය පරිදි අගතියට පත් දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ද නියම කිරීම සඳහා විධිවිධාන හඳුන්වා දී ඇත. එහෙත්, අදාළ දඩ මුදල් වටිනාකම ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂණය කර තිබේ. එබැවින්, ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් සමඟ ද අනුගත වෙමින් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ 7(3), 13(2) හා 20(අ)(3) වගන්තිවල සඳහන් අවම දඩ මුදල් වටිනාකම යාවත්කාලීන කොට සංශෝධනය කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. උක්ත කරුණු අනුව මෙම සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළ අතර ඒ අනුව පනත් කෙටුම්පත සදහා කාරක සභාවේ අනුමැතිය හිමි විය.     එසේම කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ 2024 සහ 2025 වර්ෂවලට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තා, කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව,  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ  2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ 2023 වර්ෂයට අදාළ  වාර්ෂික වාර්තාව සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ  2023 සහ 2024 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා සළකා බැලීම ද සිදුවිය. කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද කම්කරු අමාත්‍යාංශය ඇතුළු ඒ යටතේ ඇති ආයතන කිහිපයක නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-08-11

ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, රටේ ඉඩම් ක්ෂේත්‍රයට අදාළ ආයතනවල කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එහිදී රජයේ ඉඩම් අවභාවිතය සහ ව්‍යාජ ඔප්පු මගින් සිදුවන වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් හරහා ජාලගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය විය. රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අදාළ තොරතුරු එක් දත්ත පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම මගින් ඉඩම් පරිපාලනය වඩාත් විධිමත් කළ හැකි බවත්, GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් ඉඩම් වංචා අවම කිරීමට හැකි වන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිජනතාවතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර ඉඩම් අයිතිය සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් දත්ත පද්ධති හඳුන්වා දීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව කාරක සභාව අවධාරණය කළේය.මේ අතර, 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. යෝජිත සංශෝධන මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් ප්‍රවාහනය,පනත යටතේ නියාමනයට ඇතුළත් කිරීමටත්, සතුන් ප්‍රවාහනය විධිමත් කිරීම මගින් පාද හා මුඛ රෝගය වැනි සත්ව රෝග පාලනයට පියවර ගැනීමටත් අපේක්ෂා කෙරේ.එමෙන්ම, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාවක් ද මෙහිදී සලකා බැලූ අතර, බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, රොෂාන් අක්මීමන, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්වරුන් ද, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන් ද, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


2026-08-11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන, මූල්‍ය සහ ඩිජිටල් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව COPE කමිටුවේ අවධානය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) අවධානය යොමු කෙරිණි.ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  (අගෝ. 05) රැස් වූ  අවස්ථාවේදීය. මෙහිදී විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය, ඩිජිටල් පද්ධති කළමනාකරණය, විනය පරීක්ෂණ, විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් සහ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක පසු වුව ද, ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව කාරක සභාව හමුවේ අනාවරණය විය. එසේ වුව ද, එය විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය පහත වැටීමක් නොව, ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනයත් සමඟ ඇති වූ තත්ත්වයක් බව නිලධාරීහු පැහැදිලි කළහ.විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පද්ධති සහ දත්ත කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. ERP පද්ධතියේ ස්ථාවර වත්කම් මොඩියුලය ක්‍රියාත්මක කිරීමේදී සේවාදායක ධාරිතාව ප්‍රමාණවත් නොවීම, තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟය, පෞද්ගලික අංශය හා සසඳන විට පවතින වැටුප් විෂමතා හේතුවෙන් දක්ෂ තාක්ෂණික නිලධාරීන් රඳවා ගැනීමේ අපහසුව, පද්ධති යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් සහ වසර ගණනාවක් අවසන් නොකළ මෘදුකාංග ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.පද්ධති නඩත්තු කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුළම ස්ථිර හා විශේෂඥ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව අවධාරණය කළේය.විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ද කාරක සභාව දැඩි අවධානය යොමු කළ අතර, ඇතැම් විනය ක්‍රියාමාර්ග වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, නීතිමය සහ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් ආයතනයට මූල්‍ය හා පරිපාලනමය අහිතකර බලපෑම් ඇති වී තිබීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එවැනි කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය.විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධව මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ද  මෙහිදී සාකච්ඡා කෙරිණි.කෙසේ වෙතත්, 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 201ක මුදලක් අයකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මැදිහත්ව සෑම රජයේ විශ්වවිද්‍යාලයකම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළේය.තවද, බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, ඔවුන් ලෝකයේ කුමන රටක සිටිය ද අන්තර්ජාලය ඔස්සේ මෙරට සිසුන්ට ඉගැන්වීම් හා පර්යේෂණ සඳහා දායක කර ගැනීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.අවසානයේදී, විශ්වවිද්‍යාලයේ පාලනය, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විගණන නිර්දේශ සහ කාරක සභාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස COPE කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ,  චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන එම්. කේ. එම්. අස්ලම් සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks