පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළේය.
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම හේතුවෙන් ඇති වී තිබෙන වැටුප් විෂමතාව පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේය.
ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව මෙහිදී නිලධාරීහු පැවසුහ. එසේම 03/2014 චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයට පත් වන අවස්ථාවේ ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් නැවතත් වැටුප් පරතරයක් ඇතිවන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ හේතුවෙන් ගුරු සේවයේ 1 වන සහ 2-I ශ්‍රේණිවල සිටින ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් පවතින බවද සාකච්ඡා විය. එබැවින් ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට “උසස්වීමක්” ලෙස සැලකෙන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු විය.
ගුරු සේවයේ උසස්වීම් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයකින් පත්වීමක් ලබා පැමිණෙන නව ගුරුවරයෙකුට ගුරු සේවයේ 1 වන ශ්‍රේණිය දක්වා පැමිණීමට වසර 19ක පමණ සේවා කාලයක් ගතවන බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
එමෙන්ම අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවා ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.
මේ අතර, 2030 වසර දක්වා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට පෙර පැවැති ක්‍රමවේදයට අනුව ගුරු පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ වාචිකව එකඟතාවකට පැමිණ ඇති බව ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව, මෙම වසර තුළ B.Ed උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් විය.
මෙම බඳවා ගැනීම් දැනට පැවැත්වෙන 23,000ක ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොකර, පළාත් මට්ටමින් පවතින විෂයානුබද්ධ පුරප්පාඩු පදනම් කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡා විය.
පාසල් පද්ධතියේ පවතින සැබෑ විෂය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි B.Ed උපාධි පාඨමාලා යාවත්කාලීන කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට 2030 දක්වා කාලය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් විද්‍යාව, ගණිතය සහ ප්‍රාථමික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත B.Ed පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
මේ අතර, දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර 2008-2009 වර්ෂවලදී අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වෙනුවට 12 වන වැටුප් පියවරේ පිහිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 50.8ක පමණ වැඩිපුර වැටුප් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය.
2016 වසරේදී මෙම කරුණ අනාවරණය වී ඇති අතර, 2022 වසරේදී ඒ පිළිබඳ විගණන විමසුමක් මගින් විමසා ඇති බවත්, මේ වන විට වැටුප් වර්ධක අත්හිටුවීම සහ වැටුපෙන් අයකර ගැනීම මගින් රුපියල් මිලියන 15.1ක මුදලක් අයකරගෙන ඇති බවත් සඳහන් විය.
මෙම පරිපාලනමය දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බවත්, ඔවුන් වෙත නිකුත් කළ පත්වීම් ලිපිවල නිශ්චිත වැටුප් තලයක් සඳහන් කර තිබූ බවත් මෙහිදී පැමිණි පිරිස විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව, සේවකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සාධනීය මැදිහත්වීම ලබාගැනීම සඳහා ඔහුගේ අවධානයට ලිපියක් යොමු කිරීමටද කාරක සභාව තීරණය කළේය.
2026-11-06
තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-05
පාර්ලිමේන්තුවේ දී අද දින (නොවැ. 05) දෙවැනිවර කියවීමට නියමිත භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර කාරක සභාව විසින් අනුමතිය ලබා දෙන ලදී.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.මෙම පනත් කෙටුම්පත මඟින් සිදු කිරීමට අපේක්ෂිත සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-04
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නියෝජනය කරන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ. දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වේ. එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර, එය දිනකට ජීවිත තුනක් පමණ අහිමි වීමට සමානය. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇත.සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතුවේ. අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව වැඩි වන අතර රජයේ සෞඛ්‍ය ආයතන මඟින් නොමිලේ පරීක්ෂණ සහ අනෙකුත් අතවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. එසේම, සෑම කාන්තාවක්ම සුවනාරී සායනයට (Well Woman Clinic) සහභාගී වී, ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා පූර්වමය පිළිකාමය වෙනස්කම් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නිර්දේශිත පැප් පරීක්ෂාව වයස අවුරුදු 35 දී සහ 45 දී සිදු කර ගැනීමත් කළ යුතු වේ.
2026-11-03
සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. 6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවල දී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය. සාකච්ඡාවට එක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks