03

E   |     |  

2025-12-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආපදා හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

  • පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේදී අද අනුමතිය ලබා ගැනීමට නියමිතයි


හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ  මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අනුව, එම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අද (දෙසැ. 19) පාර්ලිමේන්තුවේ දී අනුමතිය ලබා ගැනීමට නියමිතය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පැවති රජයේ  මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවිය.

2026 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙසැම්බර් 5 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වුවද, පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අයවැය යටතේ අනුමත කරන ලද මුදල් ප්‍රමාණයන්ට වඩා අමතර අරමුදල් අවශ්‍ය වී ඇති බව පැමිණ සිටි නිලධාරීහු ප්‍රකාශ කළහ. ඒ අනුව, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහාය වීම, බලගැන්වීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත රුපියල් බිලියන 500 ක පරිපූරක මුදලක් යෝජනා කර ඇත.

යෝජිත පරිපූරක ඇස්තමේන්තුවට ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 100 ක්, හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 250 ක් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවට ජීවනෝපාය ආධාර සැපයීම සඳහා රුපියල් බිලියන 150 ක් ඇතුළත් වේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුවේ ප්‍රතිඵලයක් ලෙස 2026 සඳහා ප්‍රාථමික වියදම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත මගින් පනවන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක සීමාවට වඩා 1.5% ක් පමණ ඉහළ යන බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව ජාතික ආර්ථිකයේ ආරක්ෂාවට හෝ මහජන සෞඛ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදුකළ හැකි අනපේක්ෂිත සිදුවීමක් හෝ  ස්වාභාවික ආපදාවකදී, අමාත්‍ය මණ්ඩලයේ මතය අනුව එවැනි සීමාව උල්ලංඝනය කිරීමකට අවසර තිබෙන බව නිලධාරීහු මෙහිදී කරුණු දැක්වූහ.

මෙම අරමුදල්වල ප්‍රතිලාභීන් තෝරා ගැනීම පිළිබඳව ද කාරක සභාව විමසා සිටියේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිවාස 15,000ක් හඳුනාගෙන ඇති බවත්, ප්‍රගතිය මන්දගාමී වුවද 2017 සිට සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. 2026 අයවැය මඟින් දැනටමත් හඳුනාගෙන ඇති නිවාස 3,000ක් පමණ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 5,000ක් වෙන් කර ඇති බව නිලධාරීහු තවදුරටත් ප්‍රකාශ කළහ. ඊට අමතරව, ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීම සඳහා අරමුදල් වෙන් කර ඇත. ව්‍යසනයෙන් සැබවින්ම පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා නිවැරදි දත්ත ලබා ගත යුතු බවත් නිසි සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

එසේම, ‘Rebuilding Sri Lanka’ අරමුදල වඩාත්  විනිවිදබවකින් යුතුව භාවිතා කරන බව සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස විධිමත් ආකාරයෙන් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද  කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට  රජයේ  මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නීතීඥ රවුෆ් හකීම්, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගී වූහ. 




සම්බන්ධිත පුවත්

2025-12-19

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන්  ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සහ නීති කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.‍ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. මේ අනුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිඳව දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. එසේම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වඩාත් හොදින් අවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ අනුව ඉදිරි දිනයකදී නැවතත් මෙම සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කරනු ලබන බවත් කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය පැවසීය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, තිළින සමරකෝන්, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ) සාගරිකා අතාවුද, සුරංග රත්නායක සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2025-12-16

හදිසි ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග හා පාලම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක්

•    ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල්  බිලියන 20 ක පමණ අලාභයක්.දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළයුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා  (දෙසැ.  11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ග වලට සිදුවූ හානිය සහ දිවයිනපුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවයි. ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ."මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් පැවසූහ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූහ. එම එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත  හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ.ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීහු කාරක සභාව දැන්වූහ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට  යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ  ලේකම්වරයා  කාරක සභාවට පැවසීය.එමෙන්ම  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා කාරක සභාවට දන්වන ලදී.ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සුදානම් බවද පැවසුවේය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී. පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.


2025-12-09

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, 2026 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාල වැඩසටහන සහ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසන් වාර්තාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ රෙගුලාසි සලකා බැලීම සඳහා විශේෂ කාරක සභා රැස්වීමක්.2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ජාතික විගණන කාර්යාලයේ 2026 සඳහා වාර්ෂික වැඩ වැඩසටහන සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කරන ලද අවසන් වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (NMRA) පිළිබඳ සාකච්ඡාවේදී, ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී එම පද්ධතියේ පවතින විනිවිදභාවය සහ පාරදෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කාරක සභාව නිර්දේශ කළේය. ඒ අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව  අනුමත කරන ලදී.අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩ වැඩසටහන ද කාරක සභාව විසින් සලකා බලන ලදී. එම වැඩසටහනට අනුව 2026 වසරේදී විගණන 3,508 ක් සිදු කිරීමට නියමිතය. ඒ යටතට මූල්‍ය විගණන 3,484 ක්, කාර්ය සාධන විගණන 11 ක්, පාරිසරික විගණන 1 ක්, විශේෂ විගණන 12 ක් ඇතුළත් වේ.තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ද 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇත.මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10% ත් අතර 15% ක අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කළේය. කාරක සභාවට වැඩි දුරටත් කරුණු දක්වමින් වැඩබලන විගණකාධිපතිවරයා මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය  සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව පැවසීය.ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධ අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය. ඒ අනුව, ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙබරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.තවද 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එළඹෙන වර්ෂය සඳහා වන අමාත්‍යාංශ අයවැය යෝජනා සහ මූල්‍ය වෙන් කිරීම් පිළිබඳ කාරක සභාවේ සමාලෝචනයෙන් පසු එහි නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ දක්වා ඇත.ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ලබා දීම සඳහා වන යෝජනාව සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.ඒ අනුව  2025 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් මිලියන පනස් දහසක් (රු. 50,000,000,000) නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු බවටත් එවැනි මුදලක් වියදම් කළ යුතු බවත් අදාළ යෝජනාවේ සඳහන් වී ඇත.2460/44 අංක අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.මෙම රැස්වීම් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.


2025-12-09

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක වාර්ෂික සහ ගිණුම් වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා බැලේ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ ගිණුම් වාර්තා  අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සළකා   බලන ලදී.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව මෙදින කාරක සභාවේදී  2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2022 සහ 2023 වසර සඳහා සෞන්දර්ය කලා  විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ  2023 වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව  සළකාබලා අනුමත කරන ලදී .තවද, පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.මේ අවස්ථාව සඳහා  ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන්, රෝහිණි කුමාරි විජේරත්න, අබූබකර් අතම්බාවා, තුරෛරාසා රවිකරන්,  සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්  මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks