logo

02

E   |     |  

2026-04-02

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. 

ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් කාරක සභාව පසුගියදා (මාර්තු 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) එච්.එස්.එස්. තුයියකොන්තා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එල්. මොහොමඩ් නවාවි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල යන මහත්ම මහත්මීන්ගේ  පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබේ.



සම්බන්ධිත පුවත්

2026-08-05

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අතරතුර දී නිලධාරීන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් දක්වනු ලබන ප්‍රතිචාරය

2025 ඔක්තෝබර් මස 08 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවල විගණනය කරන ලද වාර්ෂික වාර්තා සහ එකී ආයතනයේ වත්මන් කාර්යසාධනය පිළිබඳ විමර්ශනය කිරීමේදී, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ හැසිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු ව තිබේ.  මෙම රැස්වීම සඳහා සහභාගී වූ නිලධාරීන් අතරින් එක් අයෙකු, පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීමේ දී නිලධාරීන් විසින් තම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු වන නිර්නායකයන්ගෙන් බැහැරව, එකී අවස්ථාවට නුසුදුසු ආකාරයෙන් සැරසී රැස්වීමට සහභාගී වී සිටි බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. තවද, ඉහත කී නිලධාරීන් දෙදෙනාම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ක්‍රියාපටිපාටියට පටහැනි අයුරින් සභාපතිවරයාගේ පූර්ව අවසරයකින් තොරව කාරක සභා රැස්වීමෙන් බැහැර ගොස් ඇති බව ද කාරක සභාව විසින් සඳහන් කරන ලදී. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ගැටළුවට අනුව, පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනාව යටතේ එම නිලධාරීන් දෙදෙනා 2026 පෙබරවාරි මස 17 වැනි දින ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටිනු ලැබූ අතර, එහිදී, ඔවුන් විසින්  සිය හැසිරීම සම්බන්ධයෙන් අවංකවම සමාව අයැද සිටින බව සඳහන් කෙරිණි.  පාර්ලිමේන්තු කාරක සභාවල අධිකාරිය, ගෞරවය සහ ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ක්‍රියාවන්හි බරපතලකම නිලධාරීන් විසින් අවබෝධ කරගෙන ඇති බව නිරීක්ෂණය කළ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ පිළිබඳව නිසි පරිදි සලකා බැලීමෙන් අනතුරුව, ඉහත කී නිලධාරීන්ට සමාව ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිගන්නා ලදී. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා පෙනී සිටින සියලුම පුද්ගලයන් සෑම අවස්ථාවකදීම ඉහළම මට්ටමින් ආචාරධර්ම හා හැසිරීම් අනුගමනය කිරීමත්, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන්ට අනුකූලව කටයුතු කිරීම සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය හා අධිකාරිය ආරක්ෂා කරමින් කටයුතු කිරීමත් අපේක්ෂා කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තව දුරටත් අවධාරණය කරයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 


2026-08-04

ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමට නව මංපෙත් විවර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල චීන සංචාරය සාර්ථකව අවසන් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකාවේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතාගේ ආරාධනයකට අනුව 2026 ජූලි 25 සිට අගෝස්තු 02 දක්වා චීනයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළහ.මෙම නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නායකත්වය ලබා දුන් අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඕෂානි උමංගා, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්මීහු ඇතුළත් වූහ. එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්දාන ප්‍රොටෝකෝල අංශයේ පාර්ලිමේන්තු නිලධාරී ලහිරු පතිරණගේ මහතා ද මෙම සංචාරයට සහභාගි වූහ.චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂෝ (Guangzhou) නගර කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩසටහන තුළ නිල හමුවීම්, අධ්‍යයන සැසි, ආයතනික සංචාර සහ සංස්කෘතික වැඩසටහන් රැසකට නියෝජිත පිරිස සහභාගි වූහ. ඒ හරහා චීනයේ සංවර්ධන අත්දැකීම්, නවෝත්පාදන පරිසර පද්ධති සහ පාලන ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.සංචාරය අතරතුර ෂෙන්සෙන් විශේෂ ආර්ථික කලාපයේ සංවර්ධනය සහ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දේශනයකට සහභාගි වූ නියෝජිත පිරිස, Huawei Technologies, Tencent, Mindray, BYD ඇතුළු ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ආයතන සහ නවෝත්පාදන මධ්‍යස්ථාන වෙත ද සංචාරය කළහ. එහිදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, ස්මාර්ට් සෞඛ්‍ය සේවා, නවීන කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ කාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණි.එමෙන්ම ෂෙන්සෙන් නගර සභාව, ගුවැන්ඩොං පළාත් රජය සහ ගුවැන්ෂෝ නගර සභාවේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී පාර්ලිමේන්තු සහයෝගිතාව, දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, කාන්තා සවිබල ගැන්වීම සහ දෙරට අතර අනාගත සහයෝගිතා අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි.ෂෙන්සෙන් කාන්තා සම්මේලනය සමඟ පැවති හමුව සංචාරයේ විශේෂ අවස්ථාවක් වූ අතර, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුරැකුම් සේවා, පවුල් සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද අදහස් හුවමාරු කරගැනීමට එහිදී අවස්ථාව හිමි විය.මීට අමතරව, ලියන්හුවා හිල් උද්‍යානය, Great Tides Surge Along the Pearl River ප්‍රදර්ශන ශාලාව, ගුවැන්ඩොං කෞතුකාගාරය සහ ගුවැන්ෂෝ මෙට්‍රෝ කෞතුකාගාරය ඇතුළු සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන කිහිපයක ද නියෝජිත පිරිස සංචාරය කළහ.මෙම නිල සංචාරය ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු සංවාද, ආයතනික සහයෝගිතාව සහ දැනුම හුවමාරුව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ද දායක විය.සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ රජයට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට, ගුවැන්ඩොං පළාත් බලධාරීන්ට සහ සංචාරය සංවිධානය කළ සියලුම ආයතන වෙත නියෝජිත පිරිස සිය කෘතඥතාව පළ කළහ.


2026-08-03

2026 වසර සඳහා වන අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව මගින් මැදපෙරදිග යුද තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජය යටතේ විවිධ අංශ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ එම මුදල් භාවිත කරන ආකාරය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.ඒ එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ  අවස්ථාවේදී ය. මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්ම මහත්මීන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහභාගි වූහ. එසේම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන් සහ විරේසිරි බස්නායක යන මහත්වරු මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම කාරක සභාවට සම්බන්ධ වූහ.රුපියල් බිලියන 71.7 ක සහන පැකේජය යටතේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් එනම් රුපියල් බිලියන 52.8 ක් ඛනිජ තෙල් අංශය සඳහා වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. ඉන්ධන සමාගම්වල ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවියේදී ඇතිවිය හැකි පාඩු සහ ඒ හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සහනය ලබා දුන් බව  නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.රුපියල් බිලියන 71.7 ක මුදල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර ඒ 2026 මැයි සහ ජූනි මාසවලදී ලබා දෙන ලද ඉන්ධන සහනාධාර ඇතුළු සහන සඳහා වන ගෙවීම් පියවීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් බිලියන 52.8 ක මුදල සහ අප්‍රේල් මාසයේ ඉන්ධන සහනාධාරය (සිපෙට්කෝ සහ අනෙකුත් ඉන්ධන සැපයුම්කරුවන් සඳහා), කුඩා තේ වතු හිමියන්ගේ පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාර සඳහා ලබා ගැනීම හේතුවෙන් අඩුවී තිබූ වාර්ෂික අයවැය සංචිතය නැවත පූරණය කිරීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් බිලියන 18.9 ක මුදල වේ.2026 ජූනි 11 වන දින මෙම කාරක සභාව විසින් සමාලෝචනය කරන ලද රුපියල් බිලියන 20 ක අතිරේක ඇස්තමේන්තුව මෙන්ම, මෙම ඉල්ලීම මගින් ද 2026 වසරේ වියදම් සීමාව හෝ ණය ගැනීමේ සීමාව හෝ ඉහළ නොයන බව ද මෙහිදී අනාවරණය විය. මෙය පවතින වෙන් කිරීම් නැවත ප්‍රති-වෙන්කිරීමක් (reallocation) පමණි.සමස්ත රුපියල් බිලියන 71.7 ක මුදලම පියවනු ලබන්නේ 'දිට්වා' (Cyclone Ditwah) වෙනුවෙන් වෙන් කරන ලද 2026 අංක 01 දරන රුපියල් බිලියන 500 ක අතිරේක ඇස්තමේන්තුවෙන් භාවිත නොකළ ශේෂයන් ලබා ගැනීමෙනි. (2026 ජූනි 30 වන විට ඉන් නිකුත් කර තිබුණේ රුපියල් බිලියන 243.9 ක් පමණි).ඒ අනුව මෙම සහනය ඉන්ධන සමාගම් සඳහා ලබාදෙන සහනාධාරයකට වඩා පාරිභෝගික සහනාධාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය පැවති තත්ත්වය මත ලබා දුන් තාවකාලික සහනයක් පමණක් බවත් මෙහිදී පැහැදිලි කෙරිණි.2026 අප්‍රේල් මාසය සඳහා පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 20,507ක පමණ සහනාධාරයක් ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. එම මුදලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා රුපියල් මිලියන 15000ක් ද , ලංකා IOC සමාගම සඳහා රුපියල් මිලියන 2,340ක් ද, සයිනොපෙක් සමාගම සඳහා රුපියල් මිලියන 1,501ක් ද, RM Parks සමාගම සඳහා රුපියල් මිලියන 1,666ක් ද ගෙවා ඇති බව සඳහන් විය.එමෙන්ම, රුපියල් බිලියන 71.7ක සමස්ත සහන පැකේජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 15ක්, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.2ක් ද, යළ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක්, කුඩා වැවිලි කරුවන් සඳහා රුපියල් බිලියන 2.2ක් ද සහ ධීවර කර්මාන්තය සඳහා රුපියල් බිලියන 1.2ක් ද වෙන් කර ඇති බව කාරක සභාවේදී සාකච්ඡා විය.ඒවගේම, දිට්වා හේතුවෙන් සිදු වූ හානියෙන් පසු එහි ව්‍යාපෘතිවල  වර්තමාන ප්‍රගතිය පිළිබඳව මාර්ග සංවර්ධනය අධිකාරිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. හානියට පත් වූ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියානු සහ චීන රජයන් විසින් ආධාර ලබා දෙන බව මෙහිදී එම නිලධාරීහු  පවසා සිටියහ. තවද, මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන පිවිසුම්වල වැඩකටයුතු 2028 වසර අවසානය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී ප්‍රකාශ විය. අධිවේගී මාර්ගවල විදුලි සැපයුම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත්, ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  නිලධාරීහු පැවසුහ.තවද,'එල්නිනෝ' තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා වූ අතර, මෙවැනි දේශගුණික විපර්යාසයන් ඉදිරියේදී ද ඇති විය හැකි බැවින්, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා 'ආපදා කළමනාකරණ ව්‍යවස්ථාපිත අරමුදල' බලගැන්වීමේ වැදගත්කම කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.තවද, විගණකාධිපතිතුමියගේ වැටුප් නිර්ණය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය හා අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා ඉදිරි දිනයකදී නැවත සාකච්ඡා කිරීමට කාරක සභාව තීරණය කළේය.


2026-08-03

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් තරුණ ප්‍රජාව සඳහා වැඩමුළු 03 ක්

තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු තුනක් සංවිධානය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය  එහි සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය .ඒ අනුව, පළමු වැඩමුළුව 2026 අගෝස්තු 08 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේදී ද , දෙවන වැඩමුළුව අගෝස්තු 29 වැනිදා නැගෙනහිර පළාතේදී ද තෙවන වැඩමුළුව සැප්තැම්බර් 05 වැනිදා මහනුවරදී ද පැවැත්වීමට සංසදය එකඟ විය. මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.එසේම, සංසදයේ සාමාජිකයන් සඳහා ඉන්දියාවේ විවෘත පාර්ලිමේන්තු භාවිතයන් සහ මහජන සහභාගීත්වය පිළිබඳ අත්දැකීම් අධ්‍යයනය කිරීමේ අරමුණින් අධ්‍යයන චාරිකාවක් සංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ  එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks