පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-03-31
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, 2026 මාර්තු 22 සිට 27 දක්වා නවදිල්ලි සහ මුම්බායි හි අධ්‍යයන සංචාරවල නිරත වූහ.
ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට, විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, කේ. ඉලන්කුමාරන්, චතුර ගලප්පත්ති, රවීන්ද්‍ර බණ්ඩාර, අසිත නිරෝෂණ එගොඩ විතානගේ, ශාන්ත පත්ම කුමාර සුබසිංහ, නීතිඥ ගීතා හේරත්, කින්ස් නෙල්සන් , ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ. තවද, ආංශික අධීක්ෂණ කාරක සභා කාර්යාලයට අනුයුක්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සහකාර අධ්යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන, ප්‍රධාන නිලධාරිනී එස්. ඩබ්ලිව්. ටී. ආර්. ද සිල්වා සහ පාර්ලිමේන්තු නිලධාරිනී ඩබ්ලිව්. කේ. ඒ. එම්. එම්. එම්. අර්ථනායක යන මහත්ම මහත්මීහුද මෙම සංචාරයට එක්ව සිටියහ.
නියෝජිත කණ්ඩායම 2026 මාර්තු 22 වන දින නව දිල්ලි නගරයට පැමිණි අතර, ඊළඟ දින සිට නිල කටයුතු ආරම්භ කළේය. මෙම වැඩසටහන තුළ ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හමුවක් සහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ප්‍රේර්නා ස්ථල් හිදී පුෂ්පෝපහාරයක් සිදුකිරීම ද ඇතුළත් විය. එමෙන්ම, නියෝජිත කණ්ඩායම හා ලෝක් සභාවේ ගරු කථානායක ඔම් බිර්ලා මහතා අතර හමුවක්ද පැවැත්විණි.
තවද ඉන්දීය පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිවාරයක් පැවැත්වූ අතර, එමඟින් ආයතනික ව්‍යුහයන් සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී. එමෙන්ම , නියෝජිත කණ්ඩායම ප්‍රවාහන, සංචාරක හා සංස්කෘතිය පිළිබඳ ස්ථාවර කාරක සභාව සහ නිවාස හා නාගරික කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව සමඟද මෙම නියෝජිත පිරිස ඵලදායී සාකච්ඡාවල නිරත වුහ.
2026 මාර්තු 24 වන දින, නියෝජිත කණ්ඩායම තාක්ෂණික හා ප්‍රතිපත්තිමය කටයුතු කේන්ද්‍රකරගත් වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අතර, එයට ඉන්දියාවේ “PM Gati Shakti” ජාතික ප්‍රධාන සැලැස්ම පිළිබඳ සැසිවාරයක්ද ඇතුළත් විය. එමෙන්ම ජාතික මහාමාර්ග අධිකාරියේ සහ ඉන්දීය සූර්ය බලශක්ති සංස්ථාව යන ආයතනයන් වලද සංචාරය සිදුකළ අතර ඉන්දියානු කර්මාන්ත සම්මේලනය සමඟද සාකච්ඡා පැවැත්විණි. තවද ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නියෝජිත පිරිස ඉන්දියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡාවල නිරත වූහ.
2026 මාර්තු 25 වන දින නියෝජිත කණ්ඩායම නාගරික සංක්‍රමණ පද්ධති සහ පොදු ප්‍රවාහනයේ වඩාත් නිවැරදි භාවිතයන් අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිස දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාවේ සංචාරය කළහ. ඉන් අනතුරුව, නව දිල්ලි මහ නගර සභාව සමඟ Smart City ආරම්භක වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී නගර පාලනය, ඩිජිටල් මූලික ව්‍යුහයන් සහ තිරසර නාගරික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලදී. තවද, ජල් ශක්ති අමාත්‍යාංශයට අයත් “Jal Jeevan Mission” වැඩසටහනේ නිලධාරීන් සමඟ හමුවක් පැවැත්වූ අතර, මහා පරිමාණ ජල සැපයුම් කළමනාකරණය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කරන ලදී.
මුම්බායි නගරයේ පැවැත්වූ වැඩසටහන යටතේ, අටල් සේතු පාලම, ජවහර්ලාල් නේරු වරාය සහ නවී මුම්බායි ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් හා සංවර්ධන ස්ථාන වල නියෝජිත පිරිස සංචාරය කළහ. තවද, නියෝජිත කණ්ඩායම Power Exchange India Limited වෙත සංචාරය කිරීමෙන් අනතුරුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගරු ප්‍රධාන අමාත්‍යවරයා හමුවුහ.
2026 මාර්තු 27 වන දින, නියෝජිත පිරිස Gateway of India සහ Elephanta Caves ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල සංචාරය කළහ. තවද නියෝජිත පිරිස මහාරාෂ්ට්‍ර විධන් සභාවේ ගරු කථානායකවරයා සහ ආයෝජන ප්‍රවර්ධනය සහ කර්මාන්ත අංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
මෙම පාර්ලිමේන්තු අධ්‍යයන සංචාරයට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සහභාගී වීම ඔස්සේ, ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ අඛණ්ඩ පාර්ලිමේන්තු සහයෝගීතාව තුළින් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය ක්ෂේත්රයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ වඩාත් නිවැරදි භාවිතයන් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කෙරිණි.
2026-11-10
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස්විය. මෙහිදී ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ තාක්ෂණික හා පර්යේෂණමය ධාරිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී නොවැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත “විශේෂ ළමා පාර්ලිමේන්තු සහභාගීත්ව වැඩසටහන” පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා දරුවන් 1,200 කට අධික පිරිසකගේ අදහස් ලබා ගෙන සකස් කළ ළමා ප්රකාශනය (Children’s Statement) දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ළමා සංසදයක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, ළමා අපයෝජන සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ගෝලීය ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉහත වැඩසටහන යටතේ “This is my right” යන තේමාවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කර ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අමතරව මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී පැමිණි නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහාය ලබා ගත හැකි ආයතන හා සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් QR කේතයක් සහිත ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වාදීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මේ අතර, මැක්ස් ප්ලෑන්ක් පදනමේ (Max Planck Foundation) නියෝජිතයන් සමඟ පැවති තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ පසු විපරම් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු පර්යේෂණ සහාය සහ දැනුම හුවමාරුව සම්බන්ධයෙන් අවධානය යොමු විය. නීති කෙටුම්පත් සකස් කිරීම, සංසන්දනාත්මක නීති අධ්‍යයනය සහ පනත් කෙටුම්පත්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා මානව හිමිකම් කෙරෙහි ඇති බලපෑම ඇගයීම වැනි ක්ෂේත්රවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තාක්ෂණික හා පර්යේෂණමය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, ළමා ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මුල්කරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන් ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.
2026-11-10
රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ III වැනි අනු කාරක සභාව හමුවේ පළමු අධියර ලෙස සිය ආයතනික සැලසුම් ඉදිරිපත් කළ ආයතන 41හි සංයුක්ත සහ ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.රාජ්‍ය ආයතනවල කාර්යභාරය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල බලතල හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, අතීත විගණන ගැටලු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආයතනික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඒවා මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගෙන තිබේද යන්න ඇගයීමට ලක් කිරීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.මෙම වැඩමුළුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ උපදේශකවරුන් වන පී. රණසිංහ සහ සී. එස්. මායාදුන්නේ යන මහත්වරුන්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-10
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.මෙහිදී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front - EPRLF) නියෝජනය කරමින් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්රජාතන්ත්රවාදී පෙරමුණ (Eros Democratic Front) නියෝජනය කරමින් රාමසාමි රාජේන්ද්‍රන්, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය (Eelam People's Democratic Party - EPDP/ඊ. පී. ඩී. පී. ) නියෝජනය කරමින් ශන්මුගනාදන් සන්ජීවන් යන මහත්වරු සිය පක්ෂ වෙනුවෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය, කාන්තා සහ තරුණ නියෝජනය ආදී කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2026-11-06
තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks