පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-12-02
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රාජ්‍ය ආයතන කිහිපයක කාර්යසාධන වාර්තා සහ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලන ලදි. ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් 2025.11.21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
මේ අනුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් පහත සඳහන් ආයතනවල වාර්තා සලකා බලන ලදි.
1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
2. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව
3. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
4. තක්සේරු දෙපාර්තමේන්තුව
5. ශ්‍රී ලංකා රේගුව
6. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
7. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
8. ජන ලේඛන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව
9. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
10. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
මෙහිදී මෙම දෙපාර්තමේන්තුවල කාර්යයන්, ඉදිරි සැලසුම්, අවශ්‍යතා ආදිය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
මෙම කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණආරච්චි සහ විජේසිරි බස්නායක යන මහත්වරුන් සහභාගී විය.
2025-11-28
• අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය• දෙපාර්තමේන්තුව සතු දැනට භාවිත කරන සහ දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි• ගිණුම් අංශයේ කාර්ය මණ්ඩලයේ පවතින නිලධාරී හිඟය පියවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කර, අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති හා අතහැර දැමූ ව්‍යපෘති 11 ක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2025.11.25 වන දින රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කර තිබූ ඇස්තමේන්තුගත වටිනාකම රු. මිලියන 55,078 ක් හා වියදම රු. මිලියන 4,047.43 ක් වූ සංවර්ධන ව්‍යාපෘති 11ක් මේ වන විට අතහැර දමා හෝ තාවකාලිකව නවතා දමා ඇති බවත් මෙම ව්‍යාපෘති අතර උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය, පහළ මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය හා යාන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය පවතින බවත්ය.මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ රටට වැදගත් ව්‍යාපෘති ප්‍රමුඛතා පිළිවෙළකට අනුව වහාම අවසන් කළ යුතු බවයි. එසේම ඇතැම් ව්‍යාපෘති අවශ්‍ය ප්‍රමුඛත්වය හඳුනා නොගෙන ආරම්භ කොට ඇති බව කාරක සභාව පෙන්වා දුන් අතර මහජන මුදල් සම්බන්ධයෙන් වඩාත් වකීමෙන් කටයුතු කළ යුතු බව වැඩි දුරටත් අවධාරණය කළේය.එසේම ඇල මාර්ගයක්, ජල මාර්ගයක්, හෝ වැවක් අවහිර කරන හෝ අයුතු ලෙස අල්ලාගන්නා යම් හෝ වාරිමාර්ග ඉදිකිරීමකට හානිකරන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර කාරක සභාව පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ඉදිරි දිනකදී නැවත සිදු කිරීමට කටයුතු කරන බවයි.දෙපාර්තමේන්තුව සතු දැනට භාවිත කරන සහ දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර කාරක සභාව පෙන්වා දුන්නේ 2022 අගෝස්තු 31 වන විට වාහන 2004 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලිපිනයට ලියාපදිංචි වී තිබුණද දෙපාර්තමේන්තුවේ වාහන ලේඛන අනුව පවතින වාහන ගණන 1560 ක් බවයි. ඒ අනුව වාහන 464 ක් දෙපාර්තමේන්තුව භාරයේ නොමැති බව පෙන්වා දුන් කාරක සභාව මේ සම්බන්ධයෙන් සියලු දත්ත ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය. ගිණුම් අංශයේ කාර්ය මන්ඩලයේ පවතින නිලධාරී හිඟය පියවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මෙම පත්කිරීම් සඳහා අවශ්‍ය ඉල්ලීම සිදු කරමින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන ලෙසත් කාරක සභාවටද එහි පිටපතක් ලබා දෙන ලෙසත් නිර්දේශ කළේය.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන රෝහිත අබේගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චාමර සම්පත්, ඔෂානි උමංගා, ලාල් ප්‍රේමනාත් සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-11-27
රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.
2025-11-27
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා පවතින නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ එම කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-11-26
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 21.11.2025 වන දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks