පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-07-28
නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.
ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.
තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.
ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, ගරු අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, (ආචාර්ය) උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර , ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-09-02
විදේශ රැකියා සඳහා විගමනය වන ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත “ඉන්සා” (InSA – Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ව්‍යාපෘතිය පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ පවුල්වල දිගුකාලීන මූල්‍ය කළමනාකරණය, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව සහ කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව සඳහන් විය.විශේෂයෙන්ම, වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීමේදී, ඔවුන් විදේශගතව සිටින කාලය තුළ දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එමෙන්ම, වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන් සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මේ සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමට නියමිත අතර, විදේශගත වීමට පෙර, විදේශගතව සිටින කාලය තුළ සහ නැවත මෙරටට පැමිණීමෙන් පසු යන අවස්ථා තුනේදීම දරුවන්ගේ ආරක්ෂාව හා පවුල් සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට නියමිතය.ඒ අනුව, දරුවන් සඳහා සකස් කරන විකල්ප රැකවරණ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න තහවුරු කිරීම, අවදානම් තත්ත්වයන් හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී විශේෂ රැකවරණ සැලසුම් සකස් කිරීම සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මැදිහත් වන බව සඳහන් විය. විදේශගතව සිට නැවත පැමිණෙන පවුල් සඳහා පවුල් සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු මනෝසමාජීය සහයෝගය ලබාදීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් “ඉන්සා කමිටු” (InSA) පිහිටුවීමට නියමිත අතර, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී සඳහන් විය.ළමා ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) සකස් කිරීමටද යෝජනා වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, විදේශ රැකියා සඳහා යන සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කමද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. සංචාරක වීසා ඇතුළු අවිධිමත් මාර්ග ඔස්සේ විදේශගත වන පුද්ගලයන් පිළිබඳ නිල දත්ත නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා සුබසාධන හා ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බැවින්, විදේශගත වන ශ්‍රමිකයන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය විය.මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රගතිය අධීක්ෂණය කිරීමට නියමිත අතර, “ඉන්සා” (InSA) ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2027 පෙබරවාරි මාසය වන විට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදී.
2026-09-02
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබිණි. 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී තිබේ. කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා මෙම පනත 2009 වසරේදී සම්මත කර තිබේ. එහෙත් මෙරට දැනට පවතින තත්ත්වය සලකා බලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය සඳහා විශේෂිත වූ කාර්යාලයක් හෝ තනතුරක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් පවත්නා ත්‍රිවිධ හමුදා ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ එම සම්බන්ධීකරණය ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදු කරනු ලබයි. එසේම මෙරට ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම කාර්යාලයේ කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් රජයට සිදුවන වැය බර අඩු කිරීමට හැකියාවක් පවතින බව ද නිරීක්ෂණය විී ඇත.ඒ අනුව පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 9 දින විවාදයට ගැනීමට (දෙවැනි වර කියවීමේ) නියමිතව ඇති මෙම පනත් කෙටුම්පත සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය. රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-09-02
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී Coalition for Inclusive Impact (CII), එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක පර්යේෂණ ප්‍රතිඵල සහ ප්‍රතිපත්ති නිර්දේශ පිළිබඳ ඉදිරිපත් කිරීමකට අදාළ කරුණු සාකච්ඡා කෙරිණි.මෙහිදී අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම, වන අලින්ගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරාලීම, මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය ආරක්ෂා කිරීම, අවිධිමත් ධීවරයන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සහ පාරිසරික සංරක්ෂණය සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු විය.වන අලි වාසස්ථානවල ජල මූලාශ්‍ර සහ ආහාර සම්පත් සම්බන්ධයෙන් පවතින ගැටලු හමුවේ අලි ඇතුන් ජනාවාස වෙත පැමිණීමේ අවදානම අවම කිරීම සඳහා සුදුසු කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.හඳුනාගෙන ඇති අලි මංකඩවල් අතරින් ප්‍රමුඛතා පදනම මත අලි මංකඩවල් 06ක් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම, වනජීවී රක්ෂිතවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.මේ අතර, මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එහි රජයට අයත් ඉඩම් නිසි පරිදි මැනුම් කර සීමා ලකුණු යෙදීම මෙන්ම අනවසර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, සුළු පන්න ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය.අලි-මිනිස් ගැටුම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත මත පදනම් වූ ක්‍රියාමාර්ග ගැනීම, අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට ගැළපෙන සාර්ථක ක්‍රමවේද අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, සුදත් බලගල්ල සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
2026-09-02
දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව එහිදී සලකා බැලීය.මෙම වාර්තාව මගින් දියවන්නා ඔය සහ පාර්ලිමේන්තුව ආශ්‍රිත ජල පද්ධතියට ගෘහස්ථ අපජලය, වාණිජ හා කාර්මික අපද්‍රව්‍ය එක්වීම ප්‍රධාන දූෂණ මූලාශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා කෙටි, මධ්‍යම හා දිගුකාලීන අදියර තුනකින් යුත් කළමනාකරණ සැලැස්මක් යෝජනා කර තිබේ.ඒ අනුව, අපද්‍රව්‍ය සෘජුව ජල මාර්ගවලට එක්වන ස්ථාන හඳුනාගෙන පාලනය කිරීම, ඝන අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම, අපජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.එමෙන්ම, අඩු ආදායම්ලාභී ජනාවාසවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම වැඩපිළිවෙළ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්‍ර බණ්ඩාර, චතුර ගලප්පත්ති, ශාන්ත පද්ම කුමාර සුබසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, ධනුෂ්ක රංගනාත් සහ ජගත් විතාන යන මහත්වරුන් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks