පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-09-02
විදේශ රැකියා සඳහා විගමනය වන ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත “ඉන්සා” (InSA – Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ව්‍යාපෘතිය පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.
විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ පවුල්වල දිගුකාලීන මූල්‍ය කළමනාකරණය, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව සහ කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව සඳහන් විය.
විශේෂයෙන්ම, වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීමේදී, ඔවුන් විදේශගතව සිටින කාලය තුළ දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එමෙන්ම, වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන් සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
මේ සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමට නියමිත අතර, විදේශගත වීමට පෙර, විදේශගතව සිටින කාලය තුළ සහ නැවත මෙරටට පැමිණීමෙන් පසු යන අවස්ථා තුනේදීම දරුවන්ගේ ආරක්ෂාව හා පවුල් සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, දරුවන් සඳහා සකස් කරන විකල්ප රැකවරණ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න තහවුරු කිරීම, අවදානම් තත්ත්වයන් හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී විශේෂ රැකවරණ සැලසුම් සකස් කිරීම සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මැදිහත් වන බව සඳහන් විය. විදේශගතව සිට නැවත පැමිණෙන පවුල් සඳහා පවුල් සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු මනෝසමාජීය සහයෝගය ලබාදීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් “ඉන්සා කමිටු” (InSA) පිහිටුවීමට නියමිත අතර, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී සඳහන් විය.
ළමා ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) සකස් කිරීමටද යෝජනා වී ඇති බව මෙහිදී අනාවරණය විය.
තවද, විදේශ රැකියා සඳහා යන සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කමද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. සංචාරක වීසා ඇතුළු අවිධිමත් මාර්ග ඔස්සේ විදේශගත වන පුද්ගලයන් පිළිබඳ නිල දත්ත නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා සුබසාධන හා ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බැවින්, විදේශගත වන ශ්‍රමිකයන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය විය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රගතිය අධීක්ෂණය කිරීමට නියමිත අතර, “ඉන්සා” (InSA) ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2027 පෙබරවාරි මාසය වන විට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදී.
2026-09-21
දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11) රැස් විය.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්‍රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්‍ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමග පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් මෙම අනුකාරක සභාව පත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පැවති රැස්වීමේදී ATI ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ ඉදිරි සංවර්ධනය සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙහිදී SLIATE පද්ධතිය සතු සම්පත් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම, යල් පැන ගිය යටිතල පහසුකම් හා තාක්ෂණික උපකරණ, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු මෙන්ම වැටුප් හා දීමනා විෂමතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී .එමෙන්ම ඇතැම් ATI ආයතනවල පරිපාලන ගැටලු සහ ශිෂ්‍ය දේශක අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, නේවාසික පහසුකම් හිඟය, ජීවන වියදම සහ ශිෂ්‍ය සුබසාධන ගැටලු හේතුවෙන් සිසුන් පාඨමාලා අතහැර යාම ආදී ගැටලු පිලිබදව එම ආයතනවල සිසුන් සහ නිලධාරීන් කාරක සභාවට කරුණු දැක්වුහ.රැකියා වෙළඳපොළ තුළ HND සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද එම ආයතන කාරක සභාවේ අවධානයට යොමු කල අතර, HND පාඨමාලා උපාධි මට්ටම දක්වා උසස් කිරීම, විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු යෝජනා ද එම ආයතන විසින් ඉදිරිපත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026-09-18
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (CPA New Parliamentarian Award 2026) හිමි කර ගත්තේය.දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී ඊයේ (සැප්. 17) පැවති 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී මෙම සම්මානය ඒ මහතා වෙත නිල වශයෙන් පිරිනැමිණි.2024 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දායක වී තිබේ. විවිධ ආයතන සමඟ සහයෝගයෙන් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද ඒ මහතා කටයුතු කර ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සහභාගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සහභාගිත්ව අයවැය උපදේශනය මෙහෙයවීම ඒ අතර ප්‍රධාන වේ.
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks