පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-09-02
දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව එහිදී සලකා බැලීය.
මෙම වාර්තාව මගින් දියවන්නා ඔය සහ පාර්ලිමේන්තුව ආශ්‍රිත ජල පද්ධතියට ගෘහස්ථ අපජලය, වාණිජ හා කාර්මික අපද්‍රව්‍ය එක්වීම ප්‍රධාන දූෂණ මූලාශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා කෙටි, මධ්‍යම හා දිගුකාලීන අදියර තුනකින් යුත් කළමනාකරණ සැලැස්මක් යෝජනා කර තිබේ.
ඒ අනුව, අපද්‍රව්‍ය සෘජුව ජල මාර්ගවලට එක්වන ස්ථාන හඳුනාගෙන පාලනය කිරීම, ඝන අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම, අපජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
එමෙන්ම, අඩු ආදායම්ලාභී ජනාවාසවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
මෙම වැඩපිළිවෙළ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්‍ර බණ්ඩාර, චතුර ගලප්පත්ති, ශාන්ත පද්ම කුමාර සුබසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, ධනුෂ්ක රංගනාත් සහ ජගත් විතාන යන මහත්වරුන් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-09-21
දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11) රැස් විය.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්‍රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්‍ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමග පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් මෙම අනුකාරක සභාව පත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පැවති රැස්වීමේදී ATI ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ ඉදිරි සංවර්ධනය සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙහිදී SLIATE පද්ධතිය සතු සම්පත් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම, යල් පැන ගිය යටිතල පහසුකම් හා තාක්ෂණික උපකරණ, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු මෙන්ම වැටුප් හා දීමනා විෂමතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී .එමෙන්ම ඇතැම් ATI ආයතනවල පරිපාලන ගැටලු සහ ශිෂ්‍ය දේශක අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, නේවාසික පහසුකම් හිඟය, ජීවන වියදම සහ ශිෂ්‍ය සුබසාධන ගැටලු හේතුවෙන් සිසුන් පාඨමාලා අතහැර යාම ආදී ගැටලු පිලිබදව එම ආයතනවල සිසුන් සහ නිලධාරීන් කාරක සභාවට කරුණු දැක්වුහ.රැකියා වෙළඳපොළ තුළ HND සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද එම ආයතන කාරක සභාවේ අවධානයට යොමු කල අතර, HND පාඨමාලා උපාධි මට්ටම දක්වා උසස් කිරීම, විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු යෝජනා ද එම ආයතන විසින් ඉදිරිපත් කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026-09-18
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සියලු දෙනාට අවස්ථාව හිමිවන පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ කැපවීම ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (CPA New Parliamentarian Award 2026) හිමි කර ගත්තේය.දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී ඊයේ (සැප්. 17) පැවති 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී මෙම සම්මානය ඒ මහතා වෙත නිල වශයෙන් පිරිනැමිණි.2024 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට දායක වී තිබේ. විවිධ ආයතන සමඟ සහයෝගයෙන් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද ඒ මහතා කටයුතු කර ඇති අතර, ආබාධ සහිත පුද්ගලයන් සහභාගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සහභාගිත්ව අයවැය උපදේශනය මෙහෙයවීම ඒ අතර ප්‍රධාන වේ.
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks