E   |     |  

2025-02-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

1994 සිට කොළඹ මහ නගර සභාවට භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කරලා - ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි

  • අනීතිකව පවත්වාගෙන යන මල් ශාලාව තහනම් කිරීමට කාරක සභාවෙන් උපදෙස්.
  • කුඨ ලේඛන පෙන්වා භුමියේ අයිතිය ගැනීමට කළ උත්සාහය සාර්ථක උනේ නෑ, ජිවිත තර්ජන පවා ආවා - කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරිය පැහැදිලි කරයි.
  • පාරිසරික වාර්තාවක් පවා නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන ගියේ කොහොමද ? - කෝපා සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි…
  • කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට වාහන නැවැත්වීම සදහා වෙන්කළ භූමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කරලා - කෝපා කමිටුවේදී හෙළිවෙයි

 

1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වූයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය පෙබ. 25 සහ 27 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම දිනයන්හිදී 2022 හා 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට කැඳවා තිබුනහ.

මෙහිදී පළමු දින කරුණු දක්වමින් විගණකාධිපතිවරයා බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසීය. 2023.07.06 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා එම ගොඩනැගිල්ල නැවත කොළඹ මහ නගර සභාව වෙත ලබා ගැනීම පිළිබඳ නියෝග ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශයට අනුව කොළඹ මහ නගර සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුනත් ගොඩනැගිල්ල නැවත මහ නගර සභාව වෙත ලබාගැනීමේ කිසිදු ප්‍රගතියක් පෙන්වා නොතිබුණි.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් නිලධාරීහු මහ නගර සභාවේ සේවයේ නියුතු සේවකයෙකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, සිදුකරමින් යන ව්‍යාපාරය පිළිබද කරුණු, කාරක සභාවට ඉදිරිපත් කළහ. එම සේවකයා මීට පෙර වැඩ තහනමකට ලක්ව සිට නැවතත් සේවයේ පිහිටවූ පුද්ගලයෙක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී සභාපතිවරයා විසින් එම මල් ශාලාව කොළඹ නගරයේ මල් ශාලාවක් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහිදී නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ මල් ශාලාවක් සඳහා අවශ්‍යවන බලපත්‍ර නොගෙන අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව, සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසීය. එහිදී කරුණු දැක්වූ නිලධාරීහු එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූහ. ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.

මෙහිදී කාරක සභාව හමුවේ පෙනී සිටි එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය එම මල් ශාලාව අනීතිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය සතු තොරතුරු කාරක සභාවට ඉදිරිපත් කළේය. එහිදී මෙම මල් ශාලාව 1994 සිට පවත්වාගෙන යන බව අනාවරණය විය. කුඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබා ගැනීමට එම සේවකයා උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් මේ පිළිබඳව දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජිවිත තර්ජන වලට පවා නතුවීමට සිදුවූ බවත් ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.

මෙම නීති විරෝධී ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිතා කිරීම වෙනුවෙන් මිලියන 41ක් අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම රාජ්‍ය සේවකයෙකුට ව්‍යාපාර කිරීම නීති විරෝධී බැවින් වංචා සහගතව අදාළ ව්‍යාපාරයේ නම විටින් විට වෙනස් කරමින් ද ව්‍යාපාර කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවාය. තවද මෙම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයාට කොවිඩ් වසංගත සමයේ දේහයක් භූමදානය කිරීම සඳහා ලක්ෂ 6ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත්, වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙම වංචනික ක්‍රියාවලිය තනි පුද්ගලයෙක්ට සිදුකිරීමට නොහැකි බවත් එම ක්‍රියාවලිය පිටුපස තවත් නිලධාරීන් රැසක් සිටින බවත් කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් පැවැසුහ. එම නිසා පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයාට එරෙහිව කටයුතු කළයුතු බව කාරක සභාව යෝජනා කරන ලදී .ඒ අනුව මෙම පුද්ගලයා විසින් රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන මෙම ව්‍යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්‍රධන ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය. මෙහිදී අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව පිළිබඳව සිදු කළ හෙළිදරවු පිළිබඳව කාරක සභාවේ ප්‍රශංසාව හිටපු නාගරික කොමසාරිස්වරිය වෙත පිරිනමන ලදී. ඒ ප්‍රශංසාව ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මේ අතර කොළඹ මහ නගර සභාවේ රථවාහන ගාල් කුලී අදායම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. 2024 වන විට රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 580ක් බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2025 වසරේදී රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේදී, හිඟ මුදල් ගෙවිය යුතු කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් සඳහා තෝරා නොගැනීමට ක්‍රියා කර තිබෙන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එම හිඟ මුදල් අයකර ගැනීම් මේ වන විටත් ආරම්හ කර ඇති බව එම නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ. මේ අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට වාහන නැවැත්වීම සදහා වෙන්කළ භූමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි ඇති බව කාරක සභාවට අනාවරණය විය. මෙහිදී කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට සම්ප්‍රදායිකව තමන්ගේ කාර්යාලය ආසන්නයේ වාහන නැවැත්වීම සදහා ඉඩක් වෙන්කරන බව නිලධාරීහු පැවසුහ. ඒ අනුව මෙලෙස තමන්ට ලබාදුන් භුමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති පිරිසෙන් අධිභාර කරගැනීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද කොළඹ මහ නගර සභාවේ ක්‍රියාත්මක වූ smart street lighting ව්‍යාපෘතිය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.එහිදී කොළඹ මහ නගර සභාවේ මුදල් වැය නොවන වියදම් රහිත ව්‍යාපෘතියක් ලෙස ආරම්භයේදී මෙය හැඳින්වුවද මෙමගින් කොළඹ මහ නගර සභාවට රුපියල් බිලියන 2.45 ක පාඩුවක් සිදුව ඇති බව හිටපු කොමසාරිස්වරිය කාරක සභාවට දැන්වූවාය. ව්‍යාපෘතිය මෙහෙයවූ අදාළ සමාගමේ ඇතැම් කොන්දේසි සඳහා තමන් එකඟ නොවීම හේතුවන් එම සමාගමේ නිලධාරියෙකු තමන්ට තර්ජන සිදු කරමින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවද ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය කොළඹ නගරයේ ආරක්‍ෂිත කලාපයක වීථි ලාම්පු වල පාලනය එම කාල සිමාවේ එම සමාගම පාලනයේ තිබු බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් අදාළ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවද පැවසුවාය.මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම කාරණය බරපතල බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වහාම පැමිණිල්ලක් ගොනු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නේය.

මේ අතර කොළඹ මහ නගර සභාවට අයවිය යුතු හිඟ වරිපනම් ආදායම් ගණන කෝටි 500කට අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. කොළඹ මහ නගර සභාවේ ආදායම් වල වාර්ෂික වර්ධනයක් තිබුණද මෙලෙස හිඟ අදායම් එකතු කරගැනීමේ නිසි වැඩ පිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් අය විය යුතු හිඟ මුදල වසරින් වසර වර්ධනය වෙමින් පවතින බව විගණකාධිපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් කොළඹ මහා නරග සභාවේ නිලධාරීහු මෙම හිඟය වසර ගණන සිට එකතුවෙමින් පවතින බවත් එම තත්ත්වය නිරාකරණය කිරීමට මුලිකවම වරිපනම් ගෙවීමට පවතින දේපොළ නිසියාකාරව හඳුනාගත යුතුව පවතින බවත් පැවසූහ. ඒම දේපළ හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමටත් ඒ ඔස්සේ හිඟ මුදල් ගෙවීමට සිටින පිරිස් හා එම මුදල් ප්‍රමාණය ගැන පැහැදිලි තොරතුරු ලබාගත හැකිවන බවත් එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.

මෙහිදී කරුණු දැක්වූ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් මෙම හිඟ මුදල් ලබාගැනීම සඳහා නිසි කාල රාමු ඇතුළත් වාර්තාවක් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. ඒ අනුව මේ වන විට හඳුනාගත් දේපොළ පවතින කොළඹ කොටුව ප්‍රදේශය තුළ එම හිඟ මුදල් මාසයක් තුළ අයකර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කාරක සභාව උපදෙස් ලබා දුන්හ. එමෙන්ම කොළඹ අනෙකුත් ප්‍රදේශවල දේපළ හඳුනාගනිමින් එම හිඟ මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා කාල වකවානු ඇතුළත් සැලැස්මක් සහිත වාර්තාවක් සතියක් තුළ සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

මේ අතර මහ නගර සභාව සතුව නිරවුල් නොවී පවතින ඉඩම් නිරවුල් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. එහිදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ බාහිර පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් මේ වසර අවසානයට පෙර කොළඹ මහ නගර සභාව සතුව පතින සියලු ඉඩම් වල නිරවුල් භාවය සහතික කළ හැකි බව නිලධාරීහු පැවසුහ.

මෙම රැස්වීම් සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, ඇන්ටන් ජයකොඩි, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන රුවන්තිලක ජයකොඩි, චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, (වෛද්‍ය) ජනක සේනාරත්න, දිනිඳු සමන්, ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-09-04

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද  කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව  ද කාරක සභාව විසින් මෙහිදී  මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.


2026-09-04

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහ වූ රු. බිලියන 7.5ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත  කරන ලදීගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම පරිපූරක ඇස්තමේන්තුව සාකච්ඡාවට ගැනිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්  සහභාගී වූහ.2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා වී මිලදී ගැනීම කඩිනම් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක්  වන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී වී මිලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීම, වී මිල සහ වෙළඳපොළ කළමනාකරණය, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. වී ගොවියා ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මේ අතර ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. Asycuda පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින්  කඩදාසි රහිත රේගු ක්‍රියාවලිය තෝරාගත් අංශ සඳහා 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රේගුවේ  නිලධාරීහු පැවසුහ. ජාතික ඒකීය වෙළඳ කවුළුව (Trade National Single Window) හරහා රේගුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ASYCUDA හි පහසුකම් තිබුණද සෙසු රාජ්‍ය ආයතනවල මේ හා සමාන ඩිජිටල්කරණය කරන ලද පද්ධති නොතිබීම හේතුවෙන් ජාතික ඒකීය වෙළඳ කවුළුව තුලට සියලු ආයතන ඇතුලත් කරගත නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.එමෙන්ම භාණ්ඩ ආනයනයට පෙර සිදුකරන අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් ඇති මූල්‍ය අවභාවිතයන් පිළිබඳවද අවධානය යොමු කර, ඒවා වැළැක්වීම සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.


2026-09-03

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු සමාලෝචනය කරයි

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව  සලකා බැලිණි. මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තවද එය ප්‍රතිශතාත්මකව 130 % ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට  වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් එ් අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726  ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන්  සියයට 9.96 ක ප්‍රතිශතයකි. එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නි‍ලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-09-03

සයිබර් අපරාධ මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks